මිනිත්තු හයකින් පුපුරා යා හැකියැයි උඩු ගුවනේ දී මගීන්ට අනතුරු ඇඟවූ යානයක් නිරුපද්‍රිතව ඉතාලියේ වැනීසි නගරයේ ගුවන් තොටුපොළට ගොඩබැස්වූ බව යුරෝපා ගුවන් බලධාරින් පවසයි.

ක්‍රොඒෂියාවේ ස්ප්ලිට් නගරයේ සිට ප්‍රංශයේ නැන්ටස් ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබූ මේ යානයේ එන්ජිමේ දෝෂයක් හටගෙන ඇත. මේ හදිසි තත්ත්වය හේතුවෙන් විනාඩි හයකින් පමණ යානය පුපුරා යා හැකි බවත් ජීවිතාරක්ෂක කබා පැළඳගන්නා ලෙසත් නියමුවා මගීන්ට උපදෙස් දී ඇත. ඔහු පවසා ඇත්තේ යානය දිය මතට ගොඩබැස්සවීමට සූදානම්වන බවයි.

මගීන් පවසන්නේ සියළු දෙනාම මහත් භීතියට පත්වූ බවයි. ගුවන්යානයේ කාර්ය මණ්ඩලය පවා සුදු මැලි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව සිටි බවත් ටික වේලාවකින් තමන් වෙත පැමිණි නියමුවා බිය නොවන ලෙස හඬමින් පැවසූ බව ද මගීහු කියති.

විනාඩි කිහිපයකට පසු යානය වැනිසියේ මාර්කෝ පෝලෝ ගුවන් තොටට ඉතා අපහසුවෙන් ගොඩබස්වා ඇත. යානයේ කිසිවකුට අනතුරක් සිදුව නැත.