14 වැනි ලියෝ පාප්තුමන් ස්පාඤ්ඤයේ නිල සංචාරයක නියැලෙයි. පාප්තුමන්ගේ සහභාගීත්වයෙන්, ඉරිදා (7) දිනයේ මැඩ්රිඩ් අගනුවර විවෘත දේව මෙහෙයක් පැවැත්විණි. එම දේව මෙහෙයට මිලියනයකට අධික ජනකායක් ඊට සහභාගී වූ බව වතිකානය පවසයි.

දේව මෙහෙයට පෙර, පාප් වහන්සේ සිය විශේෂ නිල රථයෙන් මැඩ්රිඩ් නගරය පුරා සංචාරය කළ බවත් රැස්ව සිටි ජනතාව වෙත සිය ආශීර්වාදය පිරිනැමූ බවත් වාර්තා වේ. ඉරිදා දිනයේ දේව මෙහෙයට ස්පාඤ්ඤයේ හයවන ෆෙලිපේ රජු සහ ලෙටීසියා රැජින ද සහභාගි වූහ.

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන 11 වැනිදා පැවැත්වෙයි. මේ සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් පාප්තුමන්ගෙන් අදහස් විමසූ බව ද පැවැසෙයි. 14 වැනි ලියෝ පාප්තුමන් යනු එම ධුරයට පත් වුණු පළමු ඇමෙරිකන් කාදිනල්වරයාය.

පාපන්දු ලෝක කුසලානයේ දී තමන්ගේ සහාය ලැබෙන්නේ වෙන කාටවත් නොව ඇමෙරිකා පාපන්දු කණ්ඩායමට යැයි පාප්තුමා පැවැසීය. 'මා අනිවාර්යයෙන්ම ඇමෙරිකාවට සහය දෙනවා. මට තරග නැරඹීමට හැකිවෙයිද කියන්න දන්නේ නැහැ. ඒත් මම ඇමෙරිකන් කණ්ඩායමට සුබ පතනවා" යැයි ලියෝ පාප්තුමන් මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් පැහැදිලි කර තිබේ.