වෙනත් ග‍්‍රහලෝකයන්ගේ ජීවය පවතීදැයි සොයාගැනීමට පිටසක්වල ජීවය සොයන්නන්ගේ විශේෂ කණ්ඩායමක් පත් කිරීමට ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) පියවර ගෙන තිබේ.

ලෝකයේ ප‍්‍රකට විශ්ව විද්‍යාල 10 ක මහාචාර්යවරුන්ගෙන් මෙම කණ්ඩායම සමන්විත වන අතර ඔවුන්ට අමතරව පිටසක්වල ජීවය ගැන උනන්දු කවරෙකුට හෝ මහාචාර්යවරුන්ගේ පර්යේෂණ කටයුතු වලට සහය විය හැකි බව නාසා ආයතනය සඳහන් කර ඇත.

මේ සදහා වෙනම වෙබ් අඩවියක්ද පිහිටුවා තිබෙන අතර එයට පිවිස තමන් අන්තර්ජාලයේ සරන අවස්ථාවල හමුවූ අලූත් තොරතුරු සම්බන්ධයෙන් හෝ නාසා ආයතනය අන්තර්ජාලයට එක්කරන අභ්‍යාවකාශයේ ඡායාරූපයන් නිරීක්ෂණය කර නාසා විද්‍යාඥයින්ට අතපසුවූ යමක් සොයාගැනීමට සමත්වුවහොත් හෝ එවන් කරුණු පිළිඹඳව මහාචාර්යවරුන්ගේ කණ්ඩායම දැනුම්වත් කිරීමට කෙනෙකුට හැකිය.

නාසා ආයතනය පවසන ආකාරයට මීට වසර 6 කට ඉහතදී කෙප්ලර් අභ්‍යාවකාශ දුරේක්ෂය කක්ෂගත කළ දිනයේ සිට මේ දක්වා එය ආධාරයෙන් සොයාගෙන තිබෙන ජීවය ඇති බවට සැකකෙරෙන ග‍්‍රහලෝක සංඛ්‍යාව දහසකට අධිකය.

මෙම ග‍්‍රහලෝක අතුරින් එකක හෝ ජීවය පැවතීමට සුදුසු පරිසරයක් ඇතැයි එම ආයතනයේ විශ්වාසයයි.