ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක්, එලැඹෙන නොවැම්බර් මාසයේ නවදිල්ලි අගනනුවරදී පැවැත්වීමට නියමිතය.

ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කළේ, රුසියානු තානාපති ආරංචි මාර්ග උපුටා දක්වමිනි. ඉන්දියාව සමඟ වෙළෙඳ සබඳතා තර කර ගැනීමටත් ගෙවීම් ක්‍රම වැඩිදියුණු කරගැනීමටත්, වෙළෙඳ බාධා ඉවත් කර ගැනීමටත් පුටින් අපේක්ෂා කරන බව ද පැවසෙයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පසුගියදා සියයට 25 ක අතිරේක තීරු බදු පැනවීමක් කළේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නතර නොකිරීමට විරෝධය පළකිරීමක් ලෙසය. මෙය ඉන්දියාවේ දැඩි අප්‍රසාදයට හේතුවක් විය.

‘ඉන්දීය භාණ්ඩවලට අමෙරිකාවේ වෙළඳපොළට යවන්න බැරි නම් ඒවාට රුසියා වෙළෙඳපොළට එවන්න පුළුවන්’ යැයි රුසියානු රජය ඉන්දියාවට දැනුම් දී ඇතැයි ද පැවැසෙයි. ඉන්දියාවට වෙළෙඳ සම්බාධක පැනවීමේදී ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත අසාධාරණ බව රුසියාව පෙන්වා දී ඇත.