බටහිර රටවලින් නැගුණු දැඩි විරෝධය නොතකා රුසියා ජනපති ව්ලැදිමීර් පුටින් ක්‍රිමියාව රුසියාවේ කොටසක් බවට පත්කෙරෙන ලියැවිල්ලට   අත්සන් තැබීය.

ක්‍රිමියාව වෙනුවෙන් ඊට අත්සන් කළේ එහි අගමැති සර්ගෙයි අක්සිනොව්ය.

යුක්රේනයට අයත් යැයි සැලකුණද  ක්‍රිමියාව පාලනය වන්නේ එහිම පිහිටුවා ඇති රජයකිනි. ක්‍රිමියානුවෝ බහුතරය රුසියාවට පක්ෂව කටයුතු කරන්නෝ වෙති.

මෙම කරුණත් යුක්රේනයේ දේශපාලන අස්ථාවර භාවයත් ප්‍රයෝජනයට ගෙන ඇති පුටින් උපක්‍රමශීලීව ක්‍රිමියාව රුසියාවට ඈදා ගෙන ඇතැයි බටහිර රටවල් චෝදනා නගමින් සිටී.

ලියැවිල්ල අත්සන් කිරීමෙන් පසු පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකදී රුසියා ජනපති පුටීන් බටහිර රටවල් සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පිහිටා අදහස් පළ කළේය.රුසියාවේ හා එහි අසල්වැසියන්ගේ කටයුතු සම්බන්ධයෙන් පිටස්තරයන් වන බටහිර රටවල උපදෙස් තමන්ටවත් තම අසල්වැසි රාජ්‍ය නායකයින්ටවත් අවැසි නොවන බව හෙතෙම පැවසීය.

මෙම ප්‍රකාශයත් සමග උරණව ඇති බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර රටවල් දැන් රුසියාව මත තවත් සම්බාධක පැනවීමට කටයුතු කරමින් සිටී.බ්‍රිතාන්‍යය දැනටමත් රුසියාව සමග පවත්වාගෙන සිටි සියලූම ආකාරයේ සබදතා සීමා කිරීමට කටයුතු කර තිඛෙන අතර බ්‍රිතාන්‍යය අගමැති ඩේවිඩ් කැමරන් උත්සාහ කරමින් සිටිනුයේ යුරෝපයේ සෙසු රටවල්ද රුසියාවට දැඩි සම්බාධක පැනවීමට යොමු කරවීමටය.

දෙපාර්ශවය අතර ඇතිව තිඛෙන මේ විරසකය තවත් සීත යුධ සමයක ආරම්භය වේදෝයි විචාරකයෝ බිය පළකරති.සෝවියට් සංගමය බිද වැටීමෙන් පසු තනිවුනු රුසියාව අන්තර්ජාතික මට්ටමෙන් සබදතා ඇතිකරගනිමින් ඉදිරියට ආ ගමන ඉදිරියේදී අවහිර වන ලකුණු පෙනෙන්නට ඇතැයිද ඔවුහු කියති.

කෙසේවුවත් ජනපති පුටීන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි එරට මාධ්‍ය හා දේශපාලඥයින් දක්වා ඇත්තේ යහපත් ආකල්පයකි.ඉදිරියේදී කසකස්තානය හා බේලාරුස් ජනරජයද රුසියාවට එක්කර ගැනීමට කටයුතු කරන්නයැයි ඔවුන් ජනපති පුටීන්ට යෝජනා කර ඇත.රුසියාවට අයත්ව තිබී අන්සතුවුණු භූමි ප්‍රදේශයන් යළිත් තම පැරණි ස්වාමියා හා එක්සත් වන ශ්‍රේෂ්ඨ සමයක් යළිත් උදාවී ඇතැයි ඔවුහු කියති.