
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, එලැඹෙන දෙසැම්බරයේ ඉන්දීය සංචාරයකට පැමිණෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අතරතුරේ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් කළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.
එම සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියන් ජනාධිපති පුටින් පුළුල් පරාසයක ද්විපාර්ශ්වික න්‍යාය පත්‍රයක් කෙරෙහි අවධානය යොමු කරනු ඇති බව ද රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් අවධාරණය කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන්, ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවා ඇත. සම්බාධක පනවා ඇත්තේ රුසියාවට ඔවුන්ගේ තෙල් විකුණා ගැනීම කළ නොහැකි වන ආකාරයටය. ඇමෙරිකාවේ අපේක්ෂාව එමගින් රුසියාව දුර්වල කිරීමටය.
කෙසේ නමුත්, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සිදු කරයි. ඉන්දියාව පමණක් නොව, රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේනයට සහාය පළ කරන ඇතැම් යුරෝපා රටවල් පවා රුසියාවෙන් තෙල් සහ ගෑස් මිලදී ගනී.
ඉන්දියාව, රුසියාව සමඟ තෙල් ගනුදෙනු කිරීම ඇමෙරිකාවේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇති අතර, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට සියයට 50 ක තීරු බදු පැනවීමක් ද කර ඇත. මෙය ඉන්දියාවත් රුසියාවත් අතරේ මිත්‍රත්වය තව තවත් වර්ධනය කිරීමට හේතුවක් විය.
දෙසැම්බර් නිල සංචාරයේ දී වෙළඳාම, හමුදා-තාක්ෂණික සහයෝගීතාව, මූල්‍ය, මානුෂීය කටයුතු, සෞඛ්‍ය සේවා, අධි තාක්ෂණය, කෘතිම බුද්ධිය ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත්, ඉන්දියාව මෙන්ම රුසියාව ද හවුල්කාරීත්වය දරන බ්‍රික්ස් සමුළුව සහ චීනයේ මූලිකත්වයෙන් පිහිටුවූ ෂැංග්හායි සහයෝගීතා සමුළුව ගැනත් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මිට අමතරව, ඉන්දියාවත් රුසියාවත් අතරේ අමාත්‍ය මට්ටමේ සාකච්ඡා ද පැවැත්වීමට නියමිත බවත්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මොස්කව් නුවරට යෑමට නියමිත බවත්, තමන් ද සාකච්ඡා සඳහා ඉන්දියාවට යෑමට නියමිත බවත් සර්ගේ ලැව්රෝව් අවධාරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd