ඉදිරි මාස 3 අසීරුතා රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පාකිස්තාන රජය වෙනුවෙන් එරට මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් පාකිස්තාන ජනතාවට අනතුරු ඇගවීමක් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ පාකිස්තාන කොටස් වෙළෙදපොළේ විශේෂ උත්සවයකට සහභාගී වෙමිනි.

ධුරයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ රජයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් පාකිස්තානය ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත්, එය ඉදිරි මාස 3 දී උත්සන්න වනු ඇති බවත් මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් පැහැදිලි කළේය.

ඉම්රාන් ඛාන් බලයෙන් ඉවත් කිරීමෙන් පසු රජයක් පිහිටුවූයේ පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයයි. ඒ විපක්ෂය ද හවුල් කර ගනිමිනි. මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායක ෂෙහ්බාස් ෂරීෆ් පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරයට පත් විය.

"මීට පෙර මුස්ලිම් ලීගය එන් රජයක් පැවැති කාලයේ රටේ අයවැය හිගය ඇමෙරිකන් ඩොලර් බිලියන 1,600 ක් වී තිබුණා. ඉම්රාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් රජය බලයේ සිටිද්දී වසර 4 ක් තුළ අයවැය හිගය ඇමෙරිකන් ඩොලර් 3,500 දක්වා ඉහළ ගිහින්." යැයි මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් පෙන්වා දී තිබේ.

(එන්.ඩී.ටීවී.)