ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී)
නව අගමැතිවරයකු තෝරාගැනීම සඳහා පාකිස්තාන පාර්ලිමේන්තුව අනිද්දා (1) රැස්වීමට නියමිතය.
හිටපු අගමැති නවාස් ෂරීෆ් රාජ්‍ය තනතුරක් දැරීමට නුසුදුසු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ පාකිස්තාන අගමැතිධුරය පුරප්පාඩු විය. හිටපු අගමැති නවාස් ෂරීෆ්ට සහ ඔහුගේ පවුලට දූෂණ චෝදනා එල්ල වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී හිටපු අගමැතිවරයා එම චෝදනාවලට වරදකරුවිය.
පාකිස්තානයේ පාලක පක්ෂය වන පාකිස්තාන මුස්ලිම් ලීගය හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ බාල සහෝදරයා වන ෂබාස් ෂරීෆ් අගමැතිධුරය සඳහා නම් කර තිබෙන නමුත් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය යුතුව තිබේ. ඒ සඳහා ඔහුට නවාස් ෂරීෆ්ගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු ආසනය වෙනුවෙන් තරඟ වැදීමට සිදු වේ. පළාත් ආසනයක් හොබවන බැවින් අගමැතිධුරයට පත්වීමට ෂබාස් ෂරීෆ්ට පාකිස්තානයේ ජාතික මන්ත්‍රණ සභාවට තේරී පත්විය යුතුය.
පාර්ලිමේන්තුවේ බහුතරය බලය හිමිව ඇත්තේ ද පාකිස්තාන මුස්ලිම් ලීගය-නවාස් පක්ෂයටයි. අගමැතිවරයකු පත් කරගන්නා තුරු හිටපු ඛනිජ තෙල් අමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි අන්තර්වාර අගමැතිවරයා ලෙස නම් කිරීමට ද එම පක්ෂය කටයුතු කර තිබිණි.
නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරු ෂබාස් ෂරීෆ් පාකිස්තානයේ ජනගහනයෙන් වැඩිම පළාත වන පන්ජාබ් පළාතේ මහ ඇමැතිවරයාය. තම සොහොයුරාගේ පවුලට දූෂණ චෝදනා එල්ල වුවද ෂබාස් ෂරීෆ්ට මෙතෙක් කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වී නැත.
ඉදිරියේදී නවාස් ෂරීෆ් පෙර ඡන්ද කොට්ඨාශයේ මැතිවරණයක් පවත්වන බවත් ඊට දින 45කට ආසන්න කාලයක් ගත වනු ඇති බවත් පාකිස්තාන මැතිවරණ කොමිසම ඊයේ (29) නිවේදනය කළේය. පන්ජාබ් පළාත සහ හිටපු අගමැතිවරයාගේ ඡන්ද කොට්ඨාශයේ ෂරීෆ් පවුලේ දේශපාලන බල කඳවුරු යැයි ද සැලකේ.
විපක්ෂය ද අගමැතිධුරයට පුද්ගලයකු නම් කරනු ඇතැයි පැවැසුණ ද ආසන 342කින් සමන්විත පාකිස්තාන පාර්ලිමේන්තුවේ බහුතරයක් බලයක් ඇත්තේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය-නවාස් පක්ෂයටයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd