රාජ්‍ය තනතුරක් දැරීමට සුදුසු නැති බවට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය නැවත විමසා බලන්නැයි ඉල්ලමින් එරට හිටපු අගමැති නවාස් ෂරීෆ්  මහතා පෙත්සමක් ඉදිරිපත් කළේය.

පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පසුගිය 28 වැනිදා නවාස් ෂරීෆ් මහතා රාජ්‍ය තනතුරක් දැරීමට සුදුසු නැති  බව සඳහන් කරමින් නියෝගයක් දෙන ලදි. එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් පාකිස්තානයේ හිටපු අගමැතිවරයා මෙම පෙත්සම ඉදිරිපත් කළ බව ඔහුගේ නීතිඥ කවජා හරීස් මහතා පැවැසීය.

බදු අධිකාරීන් ඉදිරියේ හිටපු අගමැති නවාස් ෂරීෆ් අවංකබව සහ සත්‍ය බව සනාථ කිරීමට අසමත් වූ බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නවාස් ෂරීෆ් මහතාට රාජ්‍ය තනතුරක් දැරීමට සුදුසු නැති බවට තීන්දු කළේය.

අදාළ තීන්දුව පිළිගනිමින් නවාස් ෂරීෆ් මහතා පාකිස්තාන අගමැතිධුරයෙන් ඉල්ලා අස් වූ නමුත් ඔහුගේ පක්ෂය අදාළ තීන්දුව ප්‍රතික්ෂේප කළේය.

නවාස් ෂරීෆ් මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව නවාස් ෂරීෆ් මහතාගේ සමීපතමයකු වූ ෂහීද් කඛාන් අබ්බාසි මහතා 2018 මහ මැතිවරණය තෙක් පාකිස්තානයේ අගමැතිධුරයට පත් කෙරිණ.

ඒ.එෆ්.පී/රොයිටර් 055