පකිස්තානයේ ශ්‍රේෂ්ඨ මානවවාදී ජන හිතකාමියෙකු වූ අබ්දුල් සත්තාර් එධි ජිවිතක්ෂයට පත් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. මිය යන විට 88 වියේ පසු වූ ඔහු එරට සමාජ, වාර්ගික සහ ආගම් බෙදීම් ඉක්මවා යමින් මානවවාදය පැතිරවූ අයෙක් ලෙස ප්‍රසිද්ධය.

වකුගඩු රෝගයකින් බොහෝ කාලයක් වේදනා විදි ඔහු එම රෝගයෙන්ම මිය ගොස් ඇති බව එරට මාධ්‍ය සදහන් කළේය.

  ඔහුගේ අවමංගල්‍ය කටයුතු සදහා දහස් ගණනක ජනයා පැමිණි බව වාර්තා වෙයි. අවසන් කටයුතු සදහා දේහය එරට ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ තැන්පත් කර තිබිණි.  රාජ්‍ය ගෞරව සහිතව අවසන් කටයුතු සිදුකෙරිණි.

1980 පසු පැවැත්වුණු පළමු රාජ්‍ය අවමගුල් උත්සවය මෙය බව එරට මාධ්‍ය වාර්තා කළේය. අවසන් කටයුතු සදහා පැමිණි ජනතාව ආරක්ෂක වළලු පසෙකලා ඔහුගේ දේහය සහිත මිනි පෙට්ටිය ස්පර්ශ කිරීමට උත්සහ ගෙන තිබේ. දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා එරට ප්‍රබල දේශපාලකයෝ සහ හමුදා නිලධාරීහු ද සහභාගී වූහ.

ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ සමාජ මෙහවරක් ඔහු අතින් සිදු විය. එධි පදනම මගින් පකිස්ථාතානය පුරා ළමා නිවාස පවත්වාගෙන යෑම, වෛද්‍ය සායන පැවැත්වීම, සෞඛ්‍ය සේවාවන් පැවැත්වීම වැනි විශාල සමාජ සේවයක්   සිදුවිය.

 රාජ්‍ය සෞඛ්‍ය සුබසාධනයට නොපෙනන අහිංසක දුගී ජනතාව වෙනුවෙන් ගිලන් රථ සේවයක් සහ වෛද්‍ය ප්‍රතිකාර සේවයක් ඔහු සහ ඔහුගේ බිරිදගේ මුලිකත්වයෙන් සිදු විය. මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨ සේවකයා රටට අහිමි වූ බව පකිස්තාන අගමැති වරයා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.