නවසීලන්තය වරක් භාවිතා කළ හැකි  පොලිතින් බෑග් භාවිතය අවලංගු කිරීමට අපේක්ෂා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජිත විධිවිධාන ඒකමතිකව සම්මත වී ඇත. 
 

අදාළ තහනම  2019 ජූලි 01 වැනිදා සිට නවසීලන්තයේ උතුරු සහ දකුණු දිවයින් දෙකෙහිම  ක්‍රියාත්මක කිරීමට නියමිතය.
 
මෙම ෂොපින් බෑග් භාවිතය ස්වභාව ධර්මයට අවදානමක් බවත්, විශේෂයෙන්ම සත්ව ප්‍රජාවේ පැවැත්මට තර්ජනයක් බවත් නවසීලන්ත පරිසර කටයුතු පිළිබඳ සහකාර අමාත්‍යවරිය වන ඉයුජින් සාජ් මහත්මිය පැවසුවාය.
 
නවසීලන්ත මුහුණදෙන  පුළුල් අපද්‍රව්‍ය ගැටලුව සඳහා මෙම තහනම වැදගත් පළමු පියවරක් බවත්,  සිල්ලර වෙළදුන් සහ පාරිභෝගිකයන් සියලු දෙනාම වගකීමෙන් පොලිතින් භාවිතය අඩු කර ප්ලාස්ටික් දූෂණය වැළැක්වීමට කටයුතු කළ යුතු බවද ඇය පැවසුවාය. 
 
නවසීලන්තය නොබෝදා ප්ලාස්ටික් ආර්ථිකය ගෝලීය සම්මුතියකට අත්සන් තබමින් පරිසර දූෂණය වැළැක්වීම පිළිබඳ අවදානය යොමු කර ඇත. 
 
 
(63226)