IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නවසීලන්ත මහ මැතිවරණය කල් යයි

දින 100කට පසු නව කොරෝනා වයිරස ආසාදිතයන් හමු වීමත් සමඟ මහ මැතිවරණය මාසයකින් කල් දැමීමට තීරණය කළ බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (17) ප්‍රකාශ කළාය.
 
ඒ අනුව සැප්තැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්ත මහ මැතිවරණය ඔක්තෝබර් 17 වැනිදා පැවැත්වෙනු ඇත.
 
 දින 102කට පසු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරින් පසුගිය සතියේදී නව කොරෝනා වයිරස ආසාදිතයෝ හමුවූහ. ඒත් සමඟම ඕක්ලන්ඩ් නුවරට අගුළු දැමීමට නවසීලන්ත බලධාරීහු පියවර ගත්හ.
 
පවතින තත්ත්වය හමුවේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීම ඉතා අපහසු යැයි ද එම නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකි යැයි ද කියමින් මහ මැතිවරණය කල්දමන්නැයි දේශපාලන පක්ෂවලින් නවසීලන්ත අග්‍රාමාත්‍යවරියට දැඩි පීඩනයක් එල්ල විය.
 
“අපි ඔක්තෝබර් 17 වැනිදා මහ මැතිවරණය පවත්වනවා. එය තමයි අවසාන දවස. මැතිවරණ ප්‍රචාරණ සැලැසුම් කිරීමටත් ඒ කටයුතු සඳහා සූදානම් වීමටත් දේශපාලන පක්ෂවලට අවශ්‍ය කාලය ලැබෙනවා” යැයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් කීය.
 
තවදුරටත් මැතිවරණය කල් නොදමන බව ද ඇය මෙහිදි ප්‍රකාශ කළාය. ජනමත විමසුම්වලදී මධ්‍යස්ථ මතධාරී ‘නවසීලන්ත ජාතික (නැෂනල් පාටි) පක්ෂය’ට වඩා ඉදිරියෙන් සිටීමට අගමැති ජසින්ඩා ආඩෙන්ගේ කම්කරු පක්ෂය සමත්ව සිටී.
 
“අපි ඔක්කොම එකම බෝට්ටුවේ. අපි ඔක්කොම මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන්නේ එක හා සමාන පරිසරයක” යැයි ආඩෙන් කීවාය.
 
හැකි ඉක්මනින් මහ මැතිවරණය පැවැත්වීම නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අඩෙන්ට වැඩි වාසි අත්කර දෙන්නේ යැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. දින 102ක් යනතුරු නවසීලන්තයෙන් කිසිදු ආසාදිතයකු හමු නොවීමත් අනෙක් රටවල් හා සැසඳීමේදී වයිරසය පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගත් නිසා අගමැතිනි ජසින්ඩා ආඩෙන්ගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් තිබේ.
 
නවසීලන්තයේ නීතියට අනුව මහ මැතිවරණය නොවැම්බර් 21 වැනිදා පෙර පැවැත්විය යුතුය. මේ අනුව ඔක්තෝබර් 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ පූර්ව ඡන්ද විමසීමේ කටයුතු ඔක්තෝබර් 3 වැනිදා ආරම්භ වේ.
 
“අන්තිමේදී සාමාන්‍ය දැනුමට තැනක් ලැබුණා” නවසීලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් පැවැසීය. “මේ වෙලාවේ මැතිවරණයක් තියන්න බෑ කියලා ඕනෑම කෙනකුට තේරෙනවා. ඒක සාමාන්‍ය දැනුම” දිගින් දිගටම මැතිවරණය කල් දමන්නැයි ඉල්ලීම් කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා කීය.
 
නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් නවසීලන්තයේ ‘නිව්සීලන්ඩ් ෆස්ට්’ පක්ෂයේ නායකයා වේ. නිව්සීලන්ඩ් ෆස්ට් පක්ෂය සහ කම්කරු පක්ෂය එක් වී වත්මන් සන්ධාන ආණ්ඩුව පිහිටුවා ඇත. නිව්සීලන්ඩ් ෆස්ට් පක්ෂය ජනතාවාදී පක්ෂයක් ලෙස සැලකේ. අවසන් වරට 2017 දී පැවැති මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලය ලබාගැනීමට නොහැකි වූ අතර පීටර්ස්ගේ නිව්සීලන්ඩ් ෆස්ට් සහ ආඩෙන්ගේ කම්කරු පක්ෂය එක්වී සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීය.
 
නවසීලන්ත අගමැතිනිය කොරෝනා වයිරසය සිය ජනප්‍රියත්වය ඉහළ නැංවීම සඳහා යොදාගන්නේ යැයි විපක්ෂය චෝදනා කරයි. සෑම දිනකම පාහේ රූපවාහිනිය ඔස්සේ පෙනී සිටිමින් නවසීලන්ත වැසියන් බේරාගන්නා බව තහවුරු කරමින් ඇය සිය ජනප්‍රියත්වය ඉහළ නංවාගන්නේ යැයි විපක්ෂය චෝදනා කරයි. ඒ අතරවාරයේදී අනෙක් පක්ෂ නායකයෝ ජනතාවගේ අවධානය දිනාගැනීමේ දැඩි අරගලයක නිරත වී සිටිති.
 
ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක වීමත් සමඟ ආර්ථික දුෂ්කරතා මතු වනු ඇති බවත් එවිට ආඩෙන්ගේ ජනප්‍රියත්වය පහළ වැටෙනු ඇති බවත් ඇයගේ විරුද්ධවාදීහු පෙන්වාදෙති.
 
මිලියන පහක ජනතාවක් වෙසෙන නවසීලන්තය අනෙක් රටවල් හා සැසඳීමේදී නව කොරෝනා වයිරස වසංගතය පාලනය කිරීමේදී ඉතා සාර්ථක විය. එහෙත් ඕක්ලන්ඩ් නුවරින් ආසාදිතයන් හමුවීමත් සමඟ ඒ සියල්ල අනෙක් පස හැරුණි. වයිරසය නැවත වරක් පැතිර යෑමට පටන් ගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානයකින් යැයි නවසීලන්ත බලධාරීහු සැක කරති.
 
අගෝස්තු 26 වැනිදා දක්වා ඕක්ලන්ඩ් නුවරට අගුළු දමන බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ඉකුත් දා ප්‍රකාශ කළාය. නවසීලන්තයේ ජනගහනය මිලියන 1.7කි. අනෙක් නගරවලද සමාජ දුරස්ථභාවයට අදාළ නීති ක්‍රියාත්මක කිරීමට නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත. නවසීලන්තයෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන 69කි.
 
“අපි දැන් අවධානය යොමු කරන්න ඕනෑ මොකක්ද වුණේ කියලා හොයන්න. අපි මෙච්චර බරපතල විදියට අසමත් වුණේ කොතැනද කියලා හොයන්න. අපිට ලොකු වැරැදීමක් වෙලා තියෙනවා. දේශසීමාවලදී මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවා. ඒක හොයාගත්තොත් අපිට පුළුවන් එය නැවත නොවෙන්න ක්‍රියාමාර්ග ගන්න” යැයි නවසීලන්ත ජාතික පක්ෂයේ නායක ජුඩිත් කොලින්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළාය.
 
රොයිටර්
055 



අදහස් (0)

නවසීලන්ත මහ මැතිවරණය කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site