ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී)

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය ඇප මත නිදහස් කරන්නැයි ඉස්ලාමාබාද් මහාධිකරණය අද (19) නියෝග කළේය.

දූෂණ චෝදනාවලට වරදකරු කරමින් එරට අධිකරණයක් මීට පෙර හිටපු අගමැති නවාස් ෂරීෆ්, ඔහුගේ දියණිය සහ බෑණාට සිර දඬුවම් නියම කළේය.

එම සිර දඬුවම අත්හිටුවමින් අවසන් තීන්දුව දෙන තුරු හිටපු අගමැතිවරයා, ඔහුගේ දියණිය  මර්යාම් නවාස් සහ බෑණා කපිතාන් සෆ්දාර් ඇප මත නිදහස් කරන්නැයි ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කළ බව හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ නීතිඥවරයා වන කවාජා හැරිස් පැවැසීය.

පකිස්තානු රුපියල් 500,000 (එක්සත් ජනපද ඩොලර් 4,024) ක් ගෙවීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කරන බව කවාජා හැරිස් කීය.

මෙම තීන්දුවට එරෙහිව පාකිස්තානයේ දූෂණ විරෝධී ඒකකය අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද පැවසේ.

නවාස් ෂරීෆ් බලයෙන් පහ කරන ලද්දේ ද අධිකරණ තීන්දුවකිනි. දූෂණ චෝදනාවලට වරදකරු කරමින් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වර්ෂයේදී නවාස් ෂරීෆ් බලයෙන් පහ කළේය.

පසුගිය ජූලි මාසයේදී දූෂණ විරෝධී අධිකරණයක් හිටපු අගමැතිවරයාට එරෙහිව තිබූ චෝදනා විභාගයට ගනිමින් ඔහු එම චෝදනාවලට වරදකරු කළේය. දූෂණ චෝදනාවලට වරදකරු වූ නවාස් ෂරීෆ්ට වසර 10කට සහ වසර 7කට අත්හිටුවන ලද සිරදඬුවමක් නියම කළේය.

එම නඩු තීන්දුව ලබාදෙන අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා සිටියේ බ්‍රිතාන්‍යයේය. මහ මැතිවරණයට සහභාගී වීම සඳහා හිටපු අගමැතිවරයා එම මාසයේදීම පාකිස්තානයට පැමිණි අතර ගුවන් තොටුපොළේදී ඔහු සහ ඔහුගේ දියණිය අත්අඩංගුවට පත්වූහ. 

මේ අතර මේ මස මුලදී නවාස් ෂරීෆ්ගේ බිරිඳ කල්සූම් නවාස් අභාවප්‍රාප්ත වූවාය. ඒ, දීර්ඝ පිළිකා රෝගී තත්ත්වය උත්සන්න වීමෙනි.

ලන්ඩන් නුවර සිට කල්සූම්ගේ දේහය පාකිස්තානය බලා ගෙන එන ලද අතර, අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්, නවාස් ෂරීෆ්ට, දියණියට සහ ඇගේ සැමියාට අවමංගල කටයුතු සඳහා සහභාගී වීමට පැය 12 ක විශේෂ සමාවක් ද ලැබුණි.

055