ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අද (3) විස දුමකින් වැසී ගිය අතර පසුගිය වසරවලට සාපේක්ෂව නවදිල්ලි අගනුවර වායූ දූෂණය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. 

ගුවන් යානා ද ආපසු හරවා හෝ ප්‍රමාද කර හෝ තිබෙන අතර වායු දූෂණය සම්බන්ධයෙන් වගකීම බාර නොගනිමින් ඉන්දීය දේශපාලනඥයෝ එකිනෙකාට චෝදනා කරමින් සිටිති. 

නවදිල්ලි අගනුවර අද මීදුමක් වැනි විස දුම් වළා පටලයකින් වැසී ගිය අතර සෑම ශීත ඍතුවකදීම ඉන්දියාවේ අගනුවර විස දුමකින් වැසී යයි. මිලියන 20කට වැඩි ජනතාවක් ජීවත්වන සහ වෘත්තීය කටයුතුවල නිරත යෙදෙන, මෙගා නගරයක් වන නවදිල්ලි අගනුවර වායූ දූෂණය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

මෝටර් රථවලින් නිකුත් වන දුම, කර්මාන්තශාලාවලින් සහ අසල්වැසි ප්‍රාන්තවල තිබෙන කර්මාන්තශාලාවලින් නිකුත් වන විස දුම් යනාදිය නිසා එලෙස නවදිල්ලි අගනුවර වායූ දූෂණය ඉහළ ගොස් තිබේ. 

ඉන්දීය බලධාරීන් නවදිල්ලි නුවර වායූ දූෂණය මැන බලා ඇති අතර එම ගණනය කිරීම්වලට අනුව එම සංඛ්‍යා මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වාර්තා කර ඇතැයි ඉන්දීය බලධාරීහු පැවැසූහ. ඉන්දියාවේ වාතයේ ‘ගුණාත්මකබව, කාලගුණ අනාවැකි සහ පර්යේෂණ පද්ධතිය’ මගින් වාතයේ ගුණාත්මක බව මැන බැලෙන අතර ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව යටතේ මෙම පද්ධතිය ක්‍රියාත්මක වේ.

 නවදිල්ලියේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ද ස්වාධීනව වායූ දූෂණය මැන බලයි. එහි නිලධාරීන් කරන ලද නිරීක්ෂණවලට අනුව ඉරිදා උදෑසන (ඊයේ) නවදිල්ලි අගනුවර වායූ දූෂණය ඝන මීටරයකට මයික්‍රෝග්‍රෑම් 810ක් දක්වා ඉහළ ගොස් තිබේ.

“නවදිල්ලි නුවර වායු දූෂණය දරාගත නොහැකි මට්ටමකට ළඟාවෙලා” යැයි දිල්ලි මහඇමති අර්වින්ද් කෙජ්රිවාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද (3) සඳහන් කළේය. 

බොහෝ පිරිසක් ඇස් රතුවීම්, ඇස් හා උගුරේ ආසාදන සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර බොහෝ පිරිසක් මුහුණු ආවරණ පැළැඳ සිය දෛනික කටයුතුවල නිරත වූහ. 
‘එයා ඉන්දියා’ සහ ‘විස්තාරා’ යන ගුවන් සේවා ඔවුන්ගේ ගුවන් ගමන් ප්‍රමාද කළ අතර ඇතැම් ගුවන් යානා වෙනත් ගුවන් තොටුපොළ වෙත හරවා යැව්වේය. දිල්ලි ගුවන් තොටුපොළ කටයුතුවලට ද බාධා එල්ල විය. 

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ජාත්‍යන්තර පන්දුවාර විස්සයි 20 තරගය පැවැත්වීමට ද නියමිතව තිබූ අතර බොහෝ ක්‍රීඩකයෝ මුහුණු ආවරණ පැළැඳ පුහුණුවීම් නිරත වූහ.

ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලනඥයන් එකිනෙකාට චෝදනා කර ගනිද්දි පසුගිය සිකුරාදා වෙද්දි හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන තත්ත්වයක් ද උද්ගත වී තිබිණි. 

වායූ දූෂණය සම්බන්ධයෙන් පියවර ගන්නැයි අර්වින්ද් කෙජ්රිවාල් පසුගිය සතියේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අසල්වැසි පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවලින් ඉල්ලා සිටියේය.

 “අසල්වැසි ප්‍රාන්තවලින් නිකුත් වන විස වායූ හේතුවෙන් දිල්ලිය ගෑස් කුටීරයක් බවට පත්ව ඇතැයි” ද හෙතෙම සඳහන් කළේය. 

ඇති වී තිබෙන තත්ත්වය දේශපාලනීයකරණය කිරීමට උත්සාහ කරන්නේ යැයි ඉන්දියාවේ පරිසර අමාත්‍ය ප්‍රකාශ ජාවඬේකාර්, දිල්ලි මහ ඇමැති අර්වින්ද් කෙජ්රිවාල්ට චෝදනා කළ අතර කෙජ්රිවාල් අනෙක් ප්‍රාන්ත සතුරන් බවට පත් කිරීමට උත්සාහ කරන බවට ද අමාත්‍යවරයා චෝදනා කළේය.

දිල්ලියේ පාසල් අඟහරුවාදා දක්වා වසා දැමීමට පියවර ගෙන ඇති අතර සඳුඳා සිට ඉදිකිරීම් කටයුතු නැවැත්වීමට ද බලධාරීන් පියවර ගෙන ඇත.

ලොව පරිසර දූෂණය වැඩිම (දූෂිතම) නගර 15න් 14ක් තිබෙන්නේ ඉන්දියාවේ යැයි වාර්තාවක් නිකු-ත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය වසරේදී සඳහන් කළේය. ඊට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදය කරන ලද අධ්‍යයනයකට අනුව සෑම වසරකදීම මිලියනකට ආසන්න පිරිසක් වායු දූෂණය නිසා අකල් මරණවලට මුහුණ දෙන බව අනාවරණය විය. 

ඒ.එෆ්.පී. 

055