අන්තර්ජාතික මට්ටමේ බෞද්ධ මධ්‍යස්ථානයක් ඉන්දියාවේ නවදිල්ලි නගරයේ ඉදිකිරීමට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සැරසේ.

මෝදි මේ පියවර ගෙන ඇත්තේ සිය චීන චාරිකාවෙන් පසුවය. ක්‍රි.ව.645 දී ඉන්දියාවේ චාරිකා කළ හු එන් සාන් චීන භික්ෂූන්වහන්සේ අනුස්මරණය සඳහා චීනයේ ඉදිකර ඇති දාගැබ දැකීමෙන් පසුව මෝදිට මෙම අදහස එන්නට ඇතැයි මොංගෝලියාවේ, ශ්‍රී ලංකාවේ හා ජපානයේ චාරිකාවලදීත් අගනගරවල බෞද්ධ මධ්‍යස්ථාන දුටු මෝදි එවැනි ස්ථානයක් නවදිල්ලියේ නොමැති වීම ගැන ස්වදේශ හා සංස්කෘතික ඇමැතිවරුන් සමගද සාකච්ඡා කර ඇත.

අන්තර්ජාතික මට්ටමේ පර්යේෂණ කිරීම සඳහාද නවදිල්ලියට එන බෞද්ධයන්ට වැඳුම් පිඳුම් කිරීමටද බෞද්ධ මධ්‍යස්ථානයක් පිහිටවිය යුතු බව එම ඇමැතිවරුන් දෙදෙනාද කියා ඇත.

මෝදිගේ විදේශ ප්‍රතිපත්තිය වනුයේ සියලු ආගම් සමග සහජීවනයෙන් ක්‍රියා කිරීමයි. බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිකරන උත්සවයක් ගිය මාසයේ මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. තමා ගුජරාටයේ මහ ඇමැතිවී සිටියදී මහ ඇමැති කාර්යාලයේත් නිල නිවසේත් ලොකු බුද්ධ රූපයක් තැන්පත් කර තිබූ බවද මෝදි කීවේය. භාරතීය ජනතා පක්ෂයේ ප්‍රතිරූපය නංවා ගැනීමටද ආගමික සහජීවනයටද මෙය උපකාරී වෙතියි කියති.