අප සෞරග‍්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටන ග‍්‍රහයෙකුගේ වායුගෝලයේ ජලවාෂ්ප ඇතැයි හඳුනාගැනීමට හැකිවූ බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ කියති.

එච් ඒ ටී 11 බී ලෙස නම් කැර ඇති මේ ග‍්‍රහලොව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124 ක් දුරින් පිහිටියකි.හබල් හා ස්පිට්සර් අභ්‍යාවකාශ දුරේක්ෂ ආධාරයෙන් හා නාසා විද්‍යාඥයින් ග‍්‍රහලොවක ජලය තිබේදැයි සොයාගැනීම සදහා නිර්මාණය කර ඇති නව ක‍්‍රමවේදයක් ආධාරයෙන් මෙම සොයාගැනීම සිදුකර ඇතැයි පැවසේ.

එසේ නමුත් එහි ජීවය පැවැතීමට ඉඩක් නැතැයි කියන විද්‍යාඥයෝ ඒ සඳහා හේතුව ලෙස එච් ඒ ටී 11 බී එය අයත් ග‍්‍රහමණ්ඩලයේ මව් තාරකාවට ඉතා ආසන්නයේ පිහිටා තිබීම නිසා එහි මතුපිට උෂ්ණත්වය ඉතා අධික වීම යැයි පෙන්වා දේ.

අප සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත ග‍්‍රහයෙකු මත තිබී ජල වාෂ්ප හදුනාගැනීමට හැකිවූ පළමු අවස්ථාවද මෙය නොවේ. පසුගිය මසදී පෘථිවියට ආලෝක වර්ෂ 7.3 ක දුරින් පිහිටි දුඹුරු වාමන තරුවක් මත තිබීද ජල වාෂ්ප සොයාගැනීමට විද්‍යාඥයින්ට හැකි විය.

විද්‍යාඥයින් පවසන්නේ අභ්‍යාවකාශයේ ජලය තිබීම අරුමයක් නොවන බවයි. හයිඩ‍්‍රජන් හා ඔක්සිජන් තිබේ නම් ජලය නිරායාසයෙන්ම සෑදෙන තරමේ වාතාවරණයක් බොහෝ ග‍්‍රහයින්ගේ ඇති බව ඔවුහු කියයි.

නමුත් ජීවය ඇතිවීමට ජලය පමණක් තිබීම ප‍්‍රමාණවත් නොවන බව ඔවුහු පෙන්වා දෙති. ජලය අත්‍යවශ්‍ය සාධකයක් වුවත් තවත් ජීවය ඇතිවීමට නම් සාධක රාශියක් සම්පූර්ණ විය යුතුව ඇතැයි විද්‍යාඥයෝ පවසති.

නමුත් මේ ලැබෙන සාක්ෂි පෘථිවියේ පමණක් නොව ජීවය පවතින වෙනත් ග‍්‍රහලෝකයන්ද තිබිය හැකි බව සනාථ කරන්නක් යැයි ඔවුහු කියති.

1 2 3