ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සියලුම ගායකයින්ගේ කටහඬ අනුකරණය කර ඔවුන්ගේ ගී එම හඬින්ම ගායනා කිරීමේ අපුරු හැකියාවක් ඇති නිලන්ත සිරි පතිරණ මේ දිනවල ලන්ඩන් නුවරට පැමිණ සිටී.

කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කළ 2015 බක්මහ උළෙලට සහභාගි වීමට ආරාධනා ලැබ පැමිණි ඔහු එහිදී සිය කුසලතාවය පැමිණ සිටි දහස් ගණනකගේ ඔල්වරසන් මැද ඉදිරිපත් කළේය. 

පණ්ඩිත අමරදේවයන්, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ජෝතිපාල, මොහිදීන් බෙග්, ප්‍රියා සූරියසේන, අතුල අධිකාරි, දයාන් විතාරණ, සමන් ද සිල්වා, ධර්මදාස වල්පොල, ගුණදාස කපුගේ, ටී එම් ජයරත්න,සෝමතිලක ජයමහ , සනත් නන්දසිරි , අමරසිරි පීරිස් මෙන්ම නවපරපුරේ ගායකයන්ද ඇතුළු බොහෝ දෙනෙකුගේ ජනප්‍රිය ගීත එදා ඔහු එම වේදිකාවේදී ගායනා කළේ සංගීතය ද ඔහු  විසින්ම සපයා ගනිමිනි.

ඔහුට සම්භාව්‍ය මෙන්ම ජනප්‍රිය ගී ආරයේ ගායනා ද ඒ පරිද්දෙන්ම ගැයීමේ අසාමාන්‍ය දස්කමක් ඇත. එමෙන්ම විදුලි ඕගනය වාදනය කිරීමටද ඔහු නිපුණත්වයක් ඇත්තෙකි. මේ නිසා ඔහුගේ ගී ප්‍රසංග වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක පුද්ගල ප්‍රසංග වෙයි.

පතිරණ කවුදැයි එතෙක් දැන නොසිටි බොහෝ දෙනෙක් ඔහුගේ මේ අනුපමේය හපන්කම ගැන පුදුම වුහ. ඉන් පසුව බොහෝදෙනාගේ ඉල්ලීම පරිදි ඔහු කින්ස්බරි විහාරස්ථානයේ නේපාල ආපදා අරමුදල ඇතුළු විවිධ සුභ සාධක සංවිධානයන් හට ආධාර ලබාගැනීම උදෙසා තම හැකියාව ඉදිරිපත් කරමින් සංගීත ප්‍රසංග කිහිපයකටම සහභාගී විය. 

වෙසක් පොහොය දිනය වෙනුවෙන් කින්ස්බරි විහාරස්ථානයේ සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ පැවති වෙසක් භක්ති ගීත වැඩසටහන් සඳහා ද ඔහු සහභාගී විය.

ලන්ඩනයේ නැවතී ඉන්නා සුළු කාලය තුල මෙවන් සුභ සාධක කටයුතු සඳහා තම දායකත්වය ලබාදීමට හැකිවීම ගැන ඉතාමත් සතුටු වන බව කියන නිලන්ත සිරි ඔහුට ලන්ඩනයට පැමිණීම සඳහා උදව් කළ සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගලයායේ පියදස්සී නාහිමියන්ටත් බක්මහ උලෙලෙහි සියලුම සංවිධායක වරුන්ටත්, සිසිර ගුණවර්ධන පවුලේ සැම ඇතුළු හිතවතුන්හටත්  ස්තුතිවන්ත වන බව පැවසිය.

PATHIRANA NILANTH-SIRI NILANTHASIRI9 NILANTHASIRI7 NILANTHASIRI3