සෝල්හිදී/බීජිංහිදීය (රොයිටර්)

දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවලදී උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම් සීමා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. 
 
මේ වනවිට චීන සංචාරයක නිරත වී සිටින දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන්අනිද්දා (14) චීන ජනාධිපති ෂී ජින්පින්ග් හමු වී සාකච්ඡා පවත්වනු ඇත. මේ අනුව නායකයන් දෙදෙනා අතර පැවැත්වෙන සාකච්ඡාවලදී උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සීමා කිරීම වැඩි අවධානයක් සහ ප්‍රමුඛතාවක් හිමිවනු ඇතැයි පැවසේ. 
උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතා දැමිය යුතු යැයි චීනය සහ දකුණු කොරියාව නිරන්තරයෙන් අවධාරණය කරයි. කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව තුළ තාඞ් මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීමත් සමඟ චීනයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය. 
 
දකුණු කොරියාව සහ චීනයේ උතුරු කොරියාව සම්බන්ධයෙන් එකම මතයක සිටියද මේ වනතෙක් ඒ සම්බන්ධයෙන්  කිසිදු එකඟතාවක් හෝ සාකච්ඡාවක් නොපැවැත්විණි. 
දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ වසර තුළ දී චීන ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පවත්වන්නේ තෙවැනි වරටය. කෙසේ නමුත් මූන් ජායි ඉන් දකුණු කොරියාවේ ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව චීන සංචාරයක නිරත වන්නේ පළමු වරටය.  මෙවර හමුවේදී නායකයන් උතුරු කොරියානු අර්බුදයට අමතරව දෙරට අතර වෙළෙඳාම සහ ව්‍යාපාර සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 
 
උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනත් සමඟ තාඞ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් තිබෙන බවත් එසේ වුවද එය කිසිදු අවස්ථාවකදී චීනයට එරෙහිව භාවිත නොකරන බවත් දකුණු කොරියානු ජනාධිපතිවරයා චීන රාජ්‍ය රූපවාහිනි නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය. 
 
055