නයිජීරියාවේ ලාගෝස්හි රැඳවුම් නිවාසයක බලහත්කාරයෙන් රඳවාගෙන සිටි ගැබිණි කාන්තාවන් 19 දෙනකු නිදහස් කළ බව එරට පොලිසිය පවසයි.

කාන්තාවන් පැහැරගෙන ගොස් ඔවුන් ගැබ් ගන්වා දරුවන් විකිණීමේ ජාවාරමක් එම ස්ථානයේ පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

එම ස්ථානයේ සිටි ළදරුවන් සිව්දෙනකු ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර කාන්තාවන් අවුරුදු 15 - 28 වයසේ පසුවූවන් බව හෙළිවී තිබේ.

මෙම ළදරු කර්මාන්තශාලාවේ හිමිකරු පලාගොස් ඇති අතර නුපුහුණු හෙදියන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත.

පිරිමි දරුවකු ඩොලර් 1400කට හා ගැහැණු දරුවකු ඩොලර් 830කට විකුණා ඇති බව පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.

කෙසේවුවද මෙම දරුවන් මිලදී ගන්නේ කවුරුන්ද යන්න හෙළිවී නැතැයි ද පොලිසිය පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)