නේපාලයේ බටහිර මයග්ඩි දිස්ත්‍රික්කයේ අද රාත්‍රී සිදුවූ විශාල නායයාමකින් කාලි ගන්ඩකි නමැති ගංගාව අවහිරවීමෙන් අඩි 450ක් පමණ උසට ජල කඳ ඉහළ නගිමින් තිබන බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

පසුගියදා නේපාලයේ සිදුවු භූමිකම්පා වලින් පසු තවමත් එහි වැසියන් විවිධ විපාක වලින් පීඩාවට පත්ව තිබෙන බවට මෙය එක් උදාහරණයකි. එම ගංඟාව ආසන්නයේ ගම්මානවල වැසියන් දස දහස් ගණනක් ඉවත් කරමින් පවතින බව නේපාල රජය පවසයි. ජලාශය නිර්මාණය වී ඇත්තේ කත්මණ්ඩු නුවරට කිලෝ මිටර 140ක් වයඹ දෙසිනි. ජීවිත හානි වාර්තා වී නැතත් සහන සේවකයෝ විපතට පත්වූවන්ට හා පලා යන්නන්ට අවශ්‍ය පහසුකම් සපයමින් සිටිති.

අප්‍රෙල් 25 දින සිදුවු රිච්ටර් මාපකයේ 7.8 ක් ලෙස සටහන් වු භූමිකම්පාවෙන් පසු නායයාම් කීපයක්ම නේපාලයේ හටගෙන තිබේ. මෙම භූමිකම්පාවෙන් මිනිසුන් 8000 කට වඩා වැඩි ප්‍රමාණයක් මියගිය අතර තවත් බොහේ පිරිසක් තුවාල ලැබූහ. පසුව මැයි 12 වෙනිදා රික්ත මාපකයේ 7. 3 ක් ලෙස සටහන් වු භුමිකම්පාවක් ඇතුළු තවත් පසු කම්පන ගණනාවක් වාර්තා විය.

අද රාත්‍රී සිදුවූ නායයාම හේතුවෙන් අඩි 600 ක් උසට ජල මට්ටම ඉහළ යනු ඇතැයි මාධ්‍ය වාර්තා හෙලිකරයි.

නේපාල අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යාංශයේ නිලධාරි ලක්ෂ්මි ප්‍රසාද් ඩකාල් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ගංගාව දෙපස වෙසෙන ජනයාට ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරණ ලෙස දැනුවත් කර ඇති බවයි.

නායයාම සිදුවු ප්‍රදේශයේ පිහිටි ජලවිදුලි බලාගාරය මේ හේතුවෙන් අනතුරට පත්වි ඇති බවද වාර්තා වේ.

බලධාරින් පවසන්නේ එකතුවී ඇති ජල ධාරාව පුපුරා පිටාර ගියහොත් විශාල ප්‍රදේශයකට ගංවතුර තත්වයක් ඇතිවිය  හැකි බවයි.

කාලි ගන්ඩකි ගංගාව ඉන්දියාව තෙක් ගමන් කර අවසානයේදී ගංගානම් ගඟාව හා සම්බන්ධවේ.