එලැඹෙන මහ මැතිවරණයට තමන් ඉදිරිපත් වන බව, තරුණ විරෝධතාකරුවන්ට නායකත්වය දෙමින්, නේපාල රජය පෙරළා දැමූ, විරෝධතාකරුවන්ගේ නායකයා ලෙස කටයුතු කරන සුදන් ගුරුන්ග් පවසයි.

සුදන් ගුරුන්ග්, මේ බව පැවැසුවේ, අල් ජසීරා මාධ්‍යවේදිනී සැන්ඩ්‍රා ගැත්මන් සමඟ 'ස්ටාට් හියර්' දේශපාලන වැඩසටහනට එක් වෙමිනි. සුදන් ගුරුන්ග් සහ සැන්ඩ්‍රා ගැත්මන් අතර කතාබහ සිදුවූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

තමන් දේශපාලනයට අවතීරණ වෙන්නේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස තනිවම නොවන බවත්, තමන් වටා සිටින සියලුම තරුණ ප්‍රජාව එක් කර ගනිමින් නව පක්ෂයකින් බවත් ගුරුන්ග් අවධාරණය කර ඇත. වෙනස් දේශපාලන දැක්මක් සහිත එම නව පක්ෂය පිහිටුවීම ඉදිරි දින කීපයේදී සිදුවනු ඇති බවත් ගුරුන්ග් පෙන්වා දුන්නේය.

තමන්ගේත් සෙසු ජෙන්සී තරුණ ප්‍රජාවේත් අරමුණ ජනතා රාජ්‍යයක් ගොඩනැගීම බවත්, දූෂණයට එරෙහිව තමන් දිගටම සටන් වදින බවත් 36 හැවිරිදි සුදන් ගුරුන්ග් අවධාරණය කළේය.