නේපාලයේ ප්‍රථම කාන්තා අගවිනිසුරුවරිය ද වන සුෂිලා කාර්කි නේපාල භාරකාර රජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස  දිවුරුම් දීමට නියමිතය. 

නේපාලය අරගලය මෙහෙයවූ තරුණ විරෝධතාකරුවන් ඔවුන්ගේ නියෝජිතයා ලෙස තෝරාගෙන සිටින්නේ සුෂිලා කාර්කි ය. නේපාලයේ භාරකාර අග්‍රාමාත්‍ය ධුරයට සිවු දෙනකුගේ නම් යෝජනා වී තිබුණි.

අනෙක් තිදෙනා බාලෙන් ෂා, කුල්මන් ඝිසින්ග් සහ හර්කා සම්පං ය. බාලෙන් ෂා කත්මණ්ඩු නගරාධිපතිවරයා ද  වෙයි. මොහු රැප් ගායකයකු ලෙස නේපාල වැසියන් අතරේ ප්‍රකටය.

නේපාල හමුදාව, රටේ බලය අත්පත් කර ගැනීමෙන් පසු ඇඳිරි නීතිය පැනවීමත් සමඟ කත්මණ්ඩු අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල පැවැති විරෝධතා කෙමෙන් අඩුවුණු අතර, මේ වනවිට නේපාලය පුරා දකින්න ලැබෙන්නේ සාමකාමී ස්වරූපයකි.

නේපාල තරුණ කොටස්, රජයට එරෙහිව විරෝධතා ආරම්භ කළේ රජය සමාජ මාධ්‍ය තහනමක් පැනවීමත් සමඟය.

විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතරේ ගැටුම් උත්සන්න වී, 33 දෙනකු මියයද්දී, සමාජ මාධ්‍ය තහනම ඉවත් කර ගැනිමට රජය කටයුතු කළේය.

එසේ සමාජ මාධ්‍ය තහනම ඉවත් කළත්, ඒ වනවිට තරුණ විරෝධතා නේපාල රජයේ දූෂණ වංචාවලට එරෙහි විරෝධතා තෙක් පරිවර්තනය වී තිබුණි.

විරෝධතා හමුවේ නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලී විදේශයකට පලා ගිය බව පැවැසෙයි. අග්‍රාමාත්‍යවරයා රටින් පලා ගියේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රාම්චන්ද්‍ර පෞඩෙල්ට ලබා දෙමිනි. නව රජයක් පිහිටුවීමෙන් පසු තමන් ද තම ධුරයෙන් ඉවත් වන බව ජනාධිපති රාම්චන්ද්‍ර පෞඩෙල් පැහැදිලි කර ඇත.