නත්තලට පෙර ෆයිසර් සමාගමේ ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරස වැළැක්වීමේ එන්නත ඇමෙරිකානු ජනතාවට ලබාදිය හැකි යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය ලේකම් (අමාත්‍ය) ඇලෙක්ස් අසාර් ප්‍රකාශ කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ ප්‍රධානින් දෙසැම්බර් 10 වැනිදා රැස්වෙන අතර එහි දි මෙම එන්නතට අවසර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත ය.

නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා අත්හදා බලා සංවර්ධනය කෙරෙමින් තිබෙන එන්නත් සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා විද්‍යාඥයන්ගෙන් සමන්විත උපදේශක කමිටුවක් පත් කිරීමට ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීහු ඉකුත් දිනෙක පියවර ගත්හ.මේ අනුව ඇමෙරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සංවර්ධනය කර අත්හදා බැලූ ‘කොවිඩ්-19’ එන්නතට මුල්ම අවසරය ලැබෙනු ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකාවේ මොඩර්නා සමාගම ද සිය එන්නතට අවසර ලබාගැනීම සඳහා ඊයේ (30) ආහාර සහ ඖෂධ පාලනාධිකාරියට අදාළ දත්ත ඉදිරිපත් කළේය.

අවසන් ප්‍රතිඵලවලට අනුව සිය එන්නත 94%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි මොඩර්නා සමාගම ඊයේ නිවේදනය කළේය. අවසන් වරට කරන ලද අත්හදා බැලීම්වලදී සහ පර්යේෂණවලදී එන්නත ලබාදුන් කිසිවකු සැලකිය යුතු රෝගී තත්ත්වයක් පෙන්නුම් කර නැතැයි ද මොඩර්නා සමාගම ඊයේ සඳහන් කළේය. මොඩර්නා සමාගම සිය එන්නතට අනුමැතිය ලබාගැනීම සඳහා ඇමෙරිකාවට අමතරව යුරෝපා සංගමයේ සහ යුරෝපයේ රටවල්, එක්සත් රාජධානිය යන රටවලට සෞඛ්‍ය අංශ වෙත අදාළ දත්ත ඉදිරිපත් කිරීම ඊයේ ආරම්භ කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලනාධිකාරිය තවත් රැස්වීමක් දෙසැම්බර් 17 වැනිදා රැස්වීමට නියමිත අතර එම රැස්වීමෙන් පසු මොඩර්නා සමාගමේ ‘කොවිඩ්-19’ එන්නතට අවසර ලැබෙනු ඇතැයි පැවසේ.

මේ අනුව මේ මස 21 වැනිදා (දෙසැම්බර් 21) වනවිට ඇමෙරිකානු ජනතාවට එන්නත් දෙකම ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි වාර්තා වේ.

‘‘අපිට නත්තලට කලින් ජනතාවට එන්නත ලබාදෙන්න පුළුවන්’’ යැයි සෞඛ්‍ය ලේකම් ඇලෙක්ස් අසාර් සී.බී.එස්. රූපවාහිනිය වෙත අදහස් දක්වමින් පැවැසීය.

ඇමෙරිකානු මධ්‍යම රජයේ මැදිහත් වීමෙන් ජනපදවලට, නෞකා මාර්ගයෙන් එන්නත් යවන බවත් ජනපද තුළ ඒවා බෙදාහරින්නේ කෙසේ ද යන්න තීරණය කිරීමට ජනපදවල ආණ්ඩුකාරවරුන්ට බලය හිමිවන බවත් හෙතෙම කීය.

 

 

ඒ.එෆ්.පී./රොයිටර්

 


055