(ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරෙනි-055)

‘ෆෝබ්ස්’ සඟරාව ඉදිරිපත් කළ ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුව අනුව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ ස්ථානය 220 සිට 544 දක්වා පහත වැටී ඇතැයි  ‘ෆෝබ්ස්’ සඟරාව වාර්තා  කරයි. එම වාර්තාවට අනුව ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5කි.

ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ හිමිකරු හා නිර්මාතෘ වන බිල් ගේට්ස් මහතා නැවත වරක් සමත්ව තිබේ. 

එම ලයිස්තුවට අනුව ගේට්ස් මහතාගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකා ඩොලර් බිලියන 86ක් දක්වා වැඩි වී ඇත. ඒ මහතාගේ මීට පෙර සම්පූර්ණ වත්කම ඇමෙරිකා ඩොලර් බිලියන 75ක් විය.ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවේ දෙවැනි තැන ආයෝජකයකු වන වොරන් මහතා සිටියි.ඔහුගේ වත්කම ඇමෙරිකා ඩොලර් බිලියන 14.8 සිට ඇමෙරිකා ඩොලර් බිලියන 75.6 දක්වා වැඩි වී තිබේ. 

ෆෝබ්ස් සඟරාවේ සටහන් ධනවතුන්ගේ ලයිස්තුවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බිලියනපතියන් 183 දෙනකු සිටින අතර ඔවුන්ගේ සම්පූර්ණ වත්කම ඩොලර් ට්‍රිලියනකි. ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවට ‘ඇමසන්’ සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසෝස් මහතා ද ඇතුළත්ය. ඔහු තෙවැනි තැනට පත්ව සිටින අතර ඔහුගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකා ඩොලර් බිලියන 72.8කි.

ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවේ පස්වැනි ස්ථානය හිමිව ඇත්තේ ‘ෆේස්බුක්’ සමාජ ජාල වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මහතාටය. ඔහුගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකා ඩොලර් බිලියන 56කි.   

ෆෝබ්ස් සඟරාව ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවට සැකසීම ආරම්භ කර වසර 31කට පසු බිලියනපතියන්ගේ සංඛ්‍යාව වාර්තා ගත ලෙස සියයට 13කින් ඉහළ ගොස් තිබෙන අතර ඒ අනුව ලොව දැනට සිටින බිලියනපතියන්ගේ සංඛ්‍යාව 2,043කි.ලයිස්තුවේ සිටින ඇමෙරිකා ජාතික බිලියනපතියන්ගේ සංඛ්‍යාව 565කි.එහි දෙවැනි ස්ථානයට පත්ව තිබෙන්නේ චීනය වන අතර චීන ජාතික බිලියනපතියන්ගේ සංඛ්‍යාව 319කි.තෙවැනි තැන සිටින්නේ ජර්මනියයි. ජර්මන් ජාතික බිලියනපතියන්ගේ සංඛ්‍යාව 114කි.