"බාල අපරාධ හෝ අපචාර වලදී දෙමාපියන්ට එහි වගකීමෙන් මිදෙන්නට පුළුවන් කමක් නැතැයි" මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි කියති.

"ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් හිංසනයට ලක්වීම මෙන්ම බාල පරම්පරාව විවිධ අපචාරයන්ට යොමුවීමේ ප්‍රවනතාව දිනෙන් දින ඉහළ යන බවක් පෙනෙන්නේ යැයිද බාල අපරාධ හෝ අපචාර සිදුවන අවස්ථා වලදී දෙමාපියන්ට දරුවන් එවැනි විනාශකාරී අවස්ථාවන්ට මුහුණ දීමෙන් වළක්වාලීමේ වගකීමෙන් මිදෙන්නට පුළුවන් කමක් නැති බවද " ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරය ආරම්භ කොට වසරක් පිරිම නිමිත්තෙන් පැවැත්වුණු ලැබූ දහම් සභාවේදී ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පැරිස් නුවර ජේතවන විහාරාධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර හිමියෝ අවධාරණය කර සිටියහ.

තම දරුවාට පරිගණකයක් ඒසේත් නැත්නම් ඒ හා සමාන වෙනත් ඉලෙක්ට්‍රොනික මෙවලමක් ලබාදීමෙන් දරුවාගේ බොහෝ අවශ්‍යතා සම්පුර්ණ කර දුන්නේ යැයි සිතා සතුටට පත්වන දෙමාපියන්ගේ යුගයක් නිර්මාණය වී ඇති බවත්, එමගින්සිදුවීමට ඉඩ ඇති බරපතල ඛේදවාචක පිළිබඳව අවධාරණය නොකිරීම කණගාටුදායක බවත්, ගෙදර බුදුන් ලෙස  පිදුම් ලැබූ මෑණිවරුන් සහ පියවරුන් තම දරුවන්ට නිසි මඟ පෙන්වීම සහ රැකවරණය මනා අවබෝධයකින් හා සිහිකල්පනාවකින් සිදු කරන්නේ නම් අප රටේ සිදු වෙමින් පවතින ශෝචනිය තත්ත්වයන් මඟ හරවා ගතහැකි බවත්" උන්වහන්සේ පැහැදිලි කර සිටියහ. විශේෂයෙන් යුරෝපයේ ජිවත්වන ශ්‍රී ලාංකික දෙමාපියන් ද තම දරුවන්ට අයාලේ යන්නට ඉඩ නොදී ලාංකීය උරුමයන් හා සිංහලකමේ අගය වටහාගෙන හදා වඩා ගත යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.

ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරයට වසරක් පිරිම නිමිත්තෙන් ධර්ම දේශනාවක්ද පැවැත්විණි. ස්කැන්ඩිනේවියා  රටවල ප්‍රධාන සංඝ නායක ස්වීඩනයේ ස්ටොක්හෝම් බෞද්ධ විහාරාධිපති   කිරිඳිගල්ලේ ධම්මරතන  හිමියෝ සිංහල බසින් හා යුරෝපා සංඝපති ඔස්ට්‍රියාවේ වියනා බෞද්ධ විහාරාධිපති මහාචාර්ය විජයරාජපුර ශීලවංශ හිමි ජර්මන් බසින්ද ධර්ම දේශනා පැවැත්වුහ.

මෙම පිංකමේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන අමුණුගම මහතා මෙවැනි ආගමික හා සංස්කෘතික උත්සවයන්හි කාලින වැදගත්කම සභාවට පෙන්වා දෙමින් මව්බිමෙන් බැහැරව විවිධ බාධක මැද්දේ ථෙරවාද බුදුදහම බටහිර ප්‍රචලිත කරවීම සඳහා රත්මලේ පුඤ්ඤරතන හිමියන් ප්‍රධාන මහ සඟ රුවන ඉටුකරන සේවාව අගය කළ යුතු බව පැවසිය.

මව්පිය වන්දනා කාව්‍යමය ධර්ම දේශනාව වැල්ලව ලුනුකඩවැල්ල රජ මහා විහාරයේ භාරකාර කාව්‍ය ශ්‍රී කිරිඳිගල්ලේ ඥානරතන හිමියෝ පැවැත්වුහ.

පැරිස් නුවර ධම්මචක්ක විහාරාධිපති කෝ.ආනන්ද හිමියන් මුලසුන හෙබවූ මෙම පින්කම් මාලාවේ පිළිගැනීමේ කතාව විහාරාධිපති රත්මලේ පුඤ්ඤරතන හිමියන් විසින් සිදුකැරිණි. අතර ජර්මන් ජාතික මොක්ඛිත හිමියන් "තමන්ගේ ජිවිතයේ ලද වටිනාම දායාදය වන්නේ නිර්මල ථෙරවාද බුදුදහම " බව සඳහන් කරමින් ධර්ම දේශනාවක් කළහ.

විහාර සංගමයේ සභාපති ගිනෝ ලයිනවෙබර් ස්තුති කතාව පැවැත්විය.

පින්කමේ වැඩකටයුතු විහාරවාසී පුංචිවැව සිරිනන්ද හිමියෝ ද හා තරංග විජේකෝන් මහතා මෙහෙය වුහ. මහෙලි හා තමොලි දිසානායක දියණියෝ විසින් මනහර නර්තන අංගයක් ඉදිරිපත් කළහ.

ජර්මනියේ මෙන්ම යුරෝපයේ රටවල් හතකින් මහා සංඝ රත්නය මෙම පිංකම සඳහා වැඩමකර සිටි අතර ශ්‍රී ලාංකික සහ ජර්මන් ජාතික සැදැහැවත්හු විශාල පිරිසක්ද ඒ සඳහා සහභාගී වුහ.

11219511_10207825326496168_3085731137380590063_n[1] IMG_1090[1] IMG_1098[1]