වීනය මධ්‍යම හෙබෙයි ප්‍රදේශයේ පාසලක සිදුවූ පිහි ඇණුමකින් සිසුන් තිදෙනකු මියගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය සිදුව ඇත්තේ ෂියාං නගරයේ ඩොන්ෆැන් නමැති ප්‍රාථමික විදුහලකය. වයස අවුරුදු 40 ක පමණ පුද්ගලයකු ළමයින් අට දෙනකුට හා වැඩිහිටි පුද්ගලයකුට පිහියෙන් ඇන ගොඩනැගිල්ලකින් පැන සියදිවි නසාගෙන ඇති බවයි.

තම දියණිය නව පාසල් වාරය වෙනුවෙන් ලියාපදිංචි කිරීම පාසල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වු පියා මේ ඝාතනය සිදුකැර ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි. පාසල් බලධාරීන් පවසා ඇත්තේ ග්‍රීෂ්ම සෘතුවට දුන් නිවාඩු කාලයේ පාසලෙන් පැවරූ වැඩ මේ දැරිය විසින් අවසන් නොකිරීම හේතුවෙන් ඇය පාසලට භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.

චීනයේ පාසල් පද්ධතියේ මෙවැනි ප්‍රහාර දිනෙන් දින ඉහළ යන බැවින් පාසල් ඇතුළත ආරක්ෂාව දැඩි කැර ඇතැයි ද චීන මාධ්‍ය උපුටා දක්වන බීබීසී පුවත් සේවය පවසා ඇත. 2010 මාර්තු මාසයේ ද පාසලකට පැමිණි පුද්ගලයකු සිසුන් අට දෙනකුට පිහියෙන් ඇණ මරා දැමිණි. 2010 අග භාගයේ දී ද පුද්ගලයකුගේ පිහි ප්‍රහාරයකින් සිසුන් තිදෙනකු මියගොස් 20 දෙනකු තුවාල ලැබූහ.