අතමිට හිගකම නිසා සිය මළ දියණියගේ මළසිරුර පොදු ප‍්‍රවාහන සේවයට අයත් බස්රථයකින් නිවෙස වෙත රැගෙන යාමට තැත්කළ මව්පිය යුවළක් ගැන වාර්තා වන්නේ චීනයෙනි.

තෑගි කොළ වල එතූ මළසිරුරද රැගෙන බස්රථයට නැගීම සදහා තම වාරය පැමිණෙන තෙක් බලා සිටි මේ මව්පිය දෙපළ දුටු අනෙක් මගීන් සිතා ඇත්තේ මේ ඔවුන්ගේ දරුවන්ට ගෙන යන තෑග්ගක් වන්නට ඇති බවයි.

බස් රථයට මගීන්ගේ ගමන් මලූ ආදිය පැටැවීමට ප‍්‍රථම සේවකයන් ඒ සියල්ල ස්කෑන් පරීක්ෂාවකට ලක් කර ඇති අතර ඔවුන්ගේ ඉමහත් පුදුමයටත් පිළිකුළටත් හේතු වනසේ තෑගි කොළ වල ඔතා තිබූ මළසිරුර හසුවී තිබේ.

වහාම පොලිසිය කැඳැවීමට ඔවුන් කටයුතු කර ඇත.එතැනට පැමිණි පොලිස් නිළධාරීන් හමුවේ හඩාවැවී ඇති මව්පිය දෙපළ පවසා ඇත්තේ රෝගයක් උත්සන්න වීමේන් රෝහලේදී මියගිය සිය දියණිය නිවස වෙත ගෙන ඒමට අවමගුල් කටයුතු සංවිධානය කරනා ආයතනවල සේවය ලබාගැනීමට තැත් කළත් ඒවායේ සේවාව ඉතා මිල අධික වූ බැවින් මේ ආකාරයට හෝ දියණියගේ දේහය නිවස කරා ගෙනයාමට උත්සාහ කළ බවයි.කිසිවෙකුටත් හිරිහැරයක් නොවනසේ මළ සිරුර ගෙන යාමට සූදානම් කළ බවත් මේ සියල්ල දුප්පත්තම නිසා බවත් ඔවුන් දෙපළ පොලිස් නිළධාරීන් හමුවේ කියා ඇත.

පොදු ප‍්‍රවාහන සේවා යොදාගෙන මළ සිරුරු ප‍්‍රවාහනය කිරීම චීනයේ නීතියෙන් තහනම් වුවත් මේ සියල්ලට සවන් දුන් පොලිස් නිලධාරීන් දඩුවම් කිරීමකින් තොරවම ඔවුන් නිදහස් කර යැවීමට කටයුතු කර තිබේ.