ඩොගෝන් වාර්ගික ප්‍රජාව ජීවත්වන ගම්මානවලට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මාලි රාජ්‍යයේ ප්‍රචණ්ඩ ක්‍රියා එන්න එන්ම වැඩිවන බවක් පෙනෙන්නට තිබේ.  

ෆුලනි ප්‍රජාවට නිවහන වී තිබෙන ඔගස්සෝගූ ගම්මානයට සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරයකින් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ඩොගෝන් ප්‍රජාව වෙසෙන ගම්මානයට ප්‍රහාර එල්ල වූයේ ඉන් අනතුරුවය. 

ඩොගෝන් වාර්ගික ප්‍රජාව යනු දඩයම සහ ගොවිතැන වෘත්තීය කරගත් වාර්ගික ප්‍රජාවකි. ඉඩම් සම්බන්ධයෙන් එම ප්‍රජාවත් ෆුලනි ජන කොටසත් අතර ගැටුම් පවතී. 

“මේ ප්‍රචණ්ඩ ක්‍රියා වහාම නැවැත්විය යුතු” යැයි මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ දූත පිරිස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව මෙම ජනකොටස් දෙකට අයත් සන්නද්ධ කණ්ඩායම් අතර පැවැති ගැටුම් හේතුවෙන් පසුගිය වසරේදී පමණක් මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 500කි. 

මේ අතර කලාපයේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කණ්ඩායමක් යවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ජීනිවා නුවරදී ප්‍රකාශ කළාය. 


(ඒ.එෆ්.පී. ඇසුරිනි)

055