දකුණු සුඩානයේ රජයේ හමුදා දිගින් දිගටම එල්ල කරන පීඩා නිසා එරට එක් ලක්ෂ විසි දහසක් පමණ අවතැන් වී ඇතැයි ද, ඉන්  විසි දහසක් පමණ එක්සත් ජාතීන්ගේ කඳවුරුවල ජීවත් වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමුදාව එරට වැසියන් ඝාතනය කරමින් ඔවුන්ගේ දේපොල සොරා කෑම එන්න එන්නම වැඩි වී තිබේ.

මෑත කාලයේදී වූ(wau) නගරයේ එවන් ක්‍රියා රාශියක් සිදු විය.  එම නගරයේ ජිවත් වූ මරියානා නම් කාන්තාවගේ අත්දැකීමකට අනුව රජයේ හමුදා ඇගේ නිවසට පැමිණ   දියණියන්ට පහර දී ඔවුන්ගේ ජංගම දුරකථන සහ මුදල් සොරාගෙන තිබේ. එමෙන්ම ඇගේ මුණුබුරන් සැගවී සිටි කුටියට කඩාපැන   වෙඩි තබා   වයස අවුරුදු 03ක් වූ ඩැනියෙල් නම් ඇගේ මුණුබුරා මරා දමා තිබේ.

 මේ නිසා නගරයේ වැඩි දෙනෙක් මරණ බියෙන් පළා ගොස් ඇත. සමහරු ආරක්ෂාව පතා ඒ ප්‍රදේශයේ ඇති එක්සත් ජාතීන්ගේ කදවුර වෙත දිව ගියහ. පමා වූ අය හමුදාවට හසු වී වෙඩි කෑ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ජනාධිපති සල්වා කිර් ගේ ගෝත්‍රය වන ඩින්කා ගෝත්‍රයට අයත් හමුදා නිලධාරීන් එම නගරයට විත් වෙනත් ගෝත්‍ර වල මිනිසුන් සොයා මරා දමන බව කියති.