දකුණු අප්‍රිකා ජනාධිපති ජාකෝබ් සූමා මහතාට එරෙහිව අද (8) එරට පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කෙරුණි. ඒ අනුව ඒ සඳහා රහස් ඡන්ද විමසීමක් ද පැවැත්විණි.

දකුණු කොරියා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා අප්‍රිකා ජාතික කොංග්‍රසයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සහාය ද හිමිවනු ඇතැයි ද එරට විපක්ෂය අපේක්ෂා කරයි.

ජනාධිපති ජාකෝබ් සූමා මහතාට අප්‍රිකා ජාතික කොංග්‍රසය තුළින්ම දූෂණ චෝදනා එල්ල වී තිබේ. වරෙක නෙල්සන් මැන්ඩෙලා ද නායකත්වය දැරූ අප්‍රිකා ජාතික කොංග්‍රසය 1994 වසරේ සිට මේ දක්වා පැවැති සෑම මැතිවරණයකින්ම ජයග්‍රහණය ලැබීය. එසේ වුවත් ජාකෝබ් සූමා මහතාගේ නායකත්වය යටතේ පක්ෂයේ ජනප්‍රියත්වය පහත වැටෙමින් තිබේ. කෙසේ නමුත් දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ අප්‍රිකා ජාතික කොංග්‍රසය සතුවය. විශ්වාසභංග ඡන්ද විමසීම පරාජයට පත්කළ හැකි යැයි ද අප්‍රිකා ජාතික කොංග්‍රසය සඳහන් කරයි.

අප්‍රිකා ජාතික කොංග්‍රසයට කිසිදු සමාවක් නැතැයි ද ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා ඔවුන්ගේ ඡන්දය භාවිත කළ යුතු යැයි ද දකුණු අප්‍රිකාවේ ප්‍රධාන විපක්ෂය වන ‘ඩිමොක්‍රටික් එලායන්ස්’ පක්ෂය සඳහන් කරයි.

මීට පෙර දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු ජනාධිපති සූමා මහතාට එරෙහිව රහස් ඡන්ද විමසීම් පැවැත්වුණු අතර ඒ සෑම අවස්ථාවකදීම ජනාධිපතිවරයාට ජය හිමිවිය.

දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා බලයෙන් ඉවත් කිරීමට ඡන්ද 201ක් අවශ්‍ය වේ. දකුණු අප්‍රිකාව පාර්ලිමේන්තුව ආසන 400කින් සමන්විතය.

(ඒ.එෆ්.පී.-055)