පිලිපීනයේ ඩවාවෝ නගරයට නැගෙනහිරින් පිහිටි වෙරළ තීරයක තිබී හමුවූ මියගිය තල්මසකුගේ ආමාශයේ ප්ලාස්ටික් බෑග් කිලෝග්‍රෑම් 40ක් තිබී හමුවූ බව පර්යේෂකයෝ සඳහන් කරති.
 
එය මෙතෙක් තල්මසකුගේ සිරුරේ තිබී හමුවූ විශාලම පොලිතීන් හා ප්ලාස්ටික් තොගය බව මෙම ගවේෂණය සිදුකළ ඩි බෝන් කෞතුකාගාරයේ බලධාරීහු කියති.
 
ෂොපින් බෑග් විශාල ප්‍රමාණයක් සහ සහල් දැමීමට භාවිත කරන ගෝනි 16ක් තල්මස් ආමාශයේ තිබී ඇත.
 
පිලිපීනය ද ඇතුළුව ගිණිකොණදිග ආසියානු රටවල් බොහොමයක මෙලෙස ඉවත දමන ප්ලාස්ටික් හා පොලිතීන් දැවැන්ත ගැටලුවක් බවට පත්වී ඇතැයි පරිසර විද්‍යාඥයෝ අවධාරණය කරති.
 
චීනය, ඉන්දියාව, තායිලන්තය, පිලිපීනය හා වියට්නාමය යන ආසියානු රටවල් පහේම ඉවත දමන ප්ලාස්ටික් වලින් 60%ක් සාගරයේ තැන්පත් වන බව ගණයය කර ඇති අතර 2015 වර්ෂයේ නිකුත් වූ වාර්තාවක මේ බව සඳහන් කර ඇත.
 
කසල කළමණාකරනය කිරීම සඳහා ප්‍රමාණවත් පියවර නොගතහොත් ඉදිරි දස වසර තුල සාගරයේ තැන්පත් වන ප්ලාස්ටික් ප්‍රමාණය තෙගුන වනු ඇති බවට බ්‍රිතාන්‍ය රජය මෑතකදී එළිදරව් කලේය.
 
(බීබීසී ඇසුරිණි - 085)