ඇමෙරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තලේබාන් සංවිධානයේ නිලධාරීන් අතර මුල් වරට මුහුණ මුහුණ පැවැත්වුණු සාකච්ඡාව ඉතාම හොඳින් අවසන් වූ බව ඇමෙරිකාව ප්‍රකාශ කරයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් අනතුරුව ඇමෙරිකානු නිලධාරීන් සහ තලේබාන් සංවිධානය අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය විය.

කටාර් රාජ්‍යයේ දෝහා නුවර දී ඉරිදා මෙම සාකච්ඡා පැවැත්විණි.

මෙම සාකච්ඡා “ඍජුව සහ වෘත්තීය මට්ටමින්” පැවැති බව ද ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කළේ ය.

තලේබාන් සංවිධානය සම්බන්ධයෙන් විනිශ්චිය කරන්නේ ඔවුන් පවසන වචනවලින් නොව ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලින් බව ඇමෙරිකාව මෙම සාකච්ඡාවෙන් අනතුරුවත් අවධාරණය කළේ ය.

ආරක්ෂාව, ත්‍රස්තවාදය, ඇමෙරිකානු පුරවැසියන් සහ අනෙක් විදේශිකයන් මෙන්ම ඇෆ්ගන් වැසියන්ට ආරක්ෂිතව රටින් පිටවීමට ඉඩ සැලැසීම, මානව හිමිකම්, කාන්තාවන් සහ ගැහැනු දරුවන්ට අර්ථාන්විත සමාජ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට අවස්ථාව දීම යනාදි කරුණු රැසක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡා කෙරුණු බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පැවැසීය.

ඇෆ්ගනිස්තාන වැසියන්ට මානුෂීය ආධාර දීම සම්බන්ධයෙන් ද දෙපාර්ශවයම සාකච්ඡා කළ බව ද නෙඩ් ප්‍රයිස් පැවැසීය.

ඇෆ්ගන් වැසියන්ට ඍජුවම මානුෂීය ආධාර සැපයීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කළ බව හෙතෙම කීය.

කෙසේ නමුත් මෙම සාකච්ඡාවේදී කිසිදු එකඟතාවක් ඇති නොවුණු බව ද හෙතෙම කීවේ ය.

(රොයිටර්)