
ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු තලේබාන්වරුන් කාබුල් අගනුවර රජයේ මාධ්‍ය කේන්ද්‍රයේ නිල මාධ්‍ය හමුවක් පැවැත්වීය.
දෙස් විදෙස් මාධ්‍යවේදීහු රැසක් මෙම ඓතිහාසික මාධ්‍ය හහුමවට සහභාගී වූවා පමණක් නොව, තලේබාන් සංවිධානයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහිද්ගෙන් ප්‍රශ්න කරන්න වූහ.
මින් ඉදිරියට තමන් දෙස් විදෙස් කිසිදු පාර්ශ්වයක් සමඟ ගැටුම් ඇති කර නොගන්නා බවත්, ඇමෙරිකාව ද ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් සහ මිත්‍රශීලීව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් තලේබාන් සංවිධානය වෙනුවෙන් සබිහුල්ලා මුජහිද් පැහැදිලි කළේය.
පවතින ඇෆ්ගන් රජයේ සියලු නිලධාරීන් සහ නිලධාරිනියන්ට, රාජය සේවක සේවිකාවන්ට සුපුරුදු ලෙස තමන්ගේ රාජකාරි කරගෙන යා හැකි බවත්, කිසිවකුගෙන් ඊට බාධාවක් එල්ල නොවනු ඇති බවත් ඒ ගැන අවිශ්වාසයක් ඇති කර නොගන්නා ලෙසත් මාධ්‍ය හමුවේ දී සබිහුල්ලා මුජහිද් පැහැදිලි කළේය.
කිසිදු පාර්ශ්වයකගෙන් පළි ගැනීමට තලේබාන් සංවිධානය කටයුතු නොකරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය. මින් ඉදිරියට කිසිදු විදේශ පාර්ශ්වයකට ඇෆ්ගනිස්තානය 'අතකොළුවක්' කර ගැනීමට ඉඩ නොදෙන බව ද සබිහුල්ලා මුජහිද් පෙන්වා දුන්නේය.
මාධ්‍ය හමුවට සහභාගී වුණු මාධ්‍යවේදිනියන්ට ද ප්‍රශ්න ඇසීමට ප්‍රමුඛතාවය ලබා දීමක් සිදුවිය. ජාත්‍යන්තරයේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බාලිකා අධ්‍යාපනයට, කාන්තාවන්ට රැකියා කිරීමට, දේශපාලනයට ඔවුන්ට පිවිසීමටත් අවස්ථාව සලසා දෙන බවට තලේබාන් සංවිධානය පොරොන්දු වී තිබේ.
මාධ්‍ය හමුවේ දී සබිහුල්ලා මුජහිද් දිගින් දිගටම අවධාරණය කළේ 'ඉස්ලාම් නීතිය සහ සංස්කෘතිය' නමැති රාමුව තුළ ඕනෑම දේකට තලේබාන් සංවිධානයෙන් අවසර හිමිවන බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්ලාම් නීතිය අනුව කටයුතු කිරීම කියන කාරණය බරපතලයි. රුසියාව, චීනය ප්‍රමුඛ රටවල් තම වෙළඳ ආධිපත්‍ය පතුරුවාලීමට ඇෆ්ගනිස්ථානය යොදා ගන්නවා. ඒ නිසා එහි පාලනය කුමක් කළත් එම රටවල් ඒ ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. එය උපක්‍රමික දෙයක්. ඉස්ලාම් නීතිය පකිස්ථානය ද සමග එකතුව යම් මැද තැනකට සමහර විට ගෙන ඒවි. නමුත් ශ්‍රී ලංකාවට ඒ ගැන දැඩි සැළකිල්ලක් දක්වන්න වෙනවා. දැනටත් ලංකාව මද්‍රසා පාසල් නීතිගත කරන්න යනවා. ඊට පකිස්ථානයේ මැදහත්වීම ඇති. එම පාසල් මුලින්ම ඇරඹුවේ පකිස්ථානයේ. එය බරපතල කාරණයක්. මොකද මද්‍රසා පාසල් වලින් තමා අල් කයිඩා වැනි අන්තවාදී න් බිහි වුනේ.