නවදිල්ලියේදීය (රොයිටර්)
 
කඩිනම් මුස්ලිම් දික්කසාද නීතිය  හෙවත් ‘තලාක්‘ නීතිය ව්‍යවස්ථාවට අනුකූල නැතැයි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීන්දු කළේය. ඒ අනුව ඉන්දියාවේදී ‘තලාක්’ නීතිය ක්‍රියාවට නැංවීම අහෝසි වේ.  
 
මෙම මුස්ලිම් දික්කසාද නීතිය ‘තලාක්’ යනුවෙන් හැඳින්වේ. තලාක් යනුවෙන් තෙවරක් හඬනගා කීමෙන් තම බිරින්ඳෑවරුන් දික්කසාද කිරීමට මෙම නීතිය ඔස්සේ මුස්ලිම් පිරිමින්ට අවස්ථාව උදා වී තිබිණි. තම ස්වාමි පුරුෂයන් ‘ස්කයිප්’, ‘වට්ස්ඇප්’ යන පණිවිඩ හුවමාරු කිරීමේ ක්‍රමවේද ඔස්සේ ‘තලාක්’ යනුවෙන් තෙවරක් කීමෙන් දික්කසාදය ලැබීම නිසා තමන් දැඩි ලෙස අසරණ වන බව මුස්ලිම් කාන්තාවෝ මැසිවිලි නගති. 
 
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුවත් සමඟ දික්කසාද නීතිය නැවත වරක් සකස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ඉන්දීය බලධාරීන්ට සිදු ව තිබේ. 
 
හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම්, සීක් සහ ශරකුස්ත්‍රවාදය යන ආගම් අදහන පස්දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදෙන ලදි. ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන නීතිපතිවරයාගේ තීන්දුවක් නිශ්ප්‍රභ කරමින් විනිසුරුවරුන් පස්දෙනාගෙන් තිදෙනකු අදාළ මුස්ලිම් නීතිය ව්‍යවස්ථානුකූල නොවන බව තීන්දු කරන ලදි. 
 
මාස හයක් ඇතුළත නව දික්කසාද නීතියක් ගෙන එන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය රජයට නියෝග කළේය.  පංච පුද්ගල විනිසුරු මඬුල්ලෙන් විනිසුරුවරු දෙදෙනෙක් තලාක් නීතිය අත්තනෝමතික යැයි පෙන්වා දුන් අතර එය මූලික අයිතිවාසිකම් කඩකරන බව ද කීහ. තලාක් නීතිය මුස්ලිම් විශ්වාසවලට අනුකූල නොවන බව ද විනිසුරු කුරියාන් ජෝශ්ප් පෙන්වා දුන්නේය. 
 
ඉන්දියාවේ අසල්වැසි පාකිස්තානය සහ සාම්ප්‍රදායික සෞදි අරාබිය ඇතුළු බොහෝ මුස්ලිම් රටවල් තලාක් නීතිය ක්‍රියාවට නැංවීම තහනම් කර තිබේ. තලාක් නීතිය සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය තුළම පරස්පර මතවාද තිබෙන අතරම එය ක්‍රියාත්මක වන ආකාරයද එකිනෙකට වෙනස්ය. 
 
055