දිගින් දිගටම සිදුවන ලේ වැගිරීම්වල තව දිගුවක් සටහන් කරමින් නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පිහිටි ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ ස්ථානයකට එල්ල වු බෝම්බ ප්‍රහාරයකින්   පුද්ගලයින්  30 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස්   තිබේ.
 
පල්ලියක් ආසන්නයේ මෙම ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබිණි.  දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රමාද වෙමින් තිබෙන මැතිවරණයට සූදානම් වීමක් ලෙස ඇෆ්ගනිස්තාන රජය ඡන්ද දායකයන් ලියාපදිංචිය ආරම්භ කළ අවස්ථාවේදී ඊයේ (06) මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. 
 
බෝම්බය ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයේ තැනක සවි කර තිබී ඇතැයි පොලිසිය සඳහන් කළේය. මේ අතර  තුවාල ලැබුවෝද බොහෝ පිරිසක් සිටින බව පොලීසිය අනාවරණය කළේය.
 
“පිපිරීම සිදුවන අවස්ථාවේදී පල්ලියෙන් පිටතට පැමිණි පිරිසක් ලියාපදිංචි මධ්‍යස්ථානයට එක්රැස් වී සිටියා” යැයි කෝස්ට් පළාතේ පොලිස් ප්‍රධානී අබ්දුල් හනන් පැවැසීය. 
පිපිරීමෙන් 30කට ආසන්න පිරිසක් තුවලා ලබා හෝ මියගොස් ඇතැයි ද හෙතෙම කීය.
 
කෙසේ නමුත් පිපිරීමෙන් 12 දෙනකු මියගොස් 33 දෙනකු තුවාල ලබා ඇතැයි පළාතේ නියෝජ්‍ය මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂ ගුල් මොහොම්මද් මන්ගාල් පැවැසීය. තුවාල ලැබූ ඇතැම් අයගේ තත්ත්වය බරපතළ බැවින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව වැඩිවිය හැකි බව ද මන්ගාල් කීවේය. 
 
“ගිලන් රථ තවමත් තුවාල ලැබූවන් රැගෙන එනවා” ඔහු තවදුරටත් පැවැසීය. 
 
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී 25 දෙනකු මියගොස් සතියක් ගෙවී යන්නට මත්තෙන් මෙම ප්‍රහාරය එල්ල විය.

කාබුල් නුවරට එල්ල වූ එම ප්‍රහාර ද්විත්වයෙන් ඇෆ්ගනිස්තානයේ ප්‍රංශ පුවත් සේවයේ ප්‍රධාන ඡායාරූප ශිල්පී ෂාහ් මරායි ඇතුළු මාධ්‍යවේදීහු 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එදිනම කෝස්ට් පළාතේ ස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් බී.බී.සී පුවත් සේවයේ වාර්තාකරු අහ්මද් ෂාහ් ජීවිතක්ෂයට පත්විය. 
 
ඇෆ්ගනිස්තානයේ පාර්ලිමේන්තු හා දිස්ත්‍රික් මැතිවරණ ඔක්තෝබර් 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. මෙම ප්‍රහාරයත් සමඟ ඇෆ්ගනිස්තාන වැසියන් මැතිවරණය සඳහා ලියාපදිංචි කිරීම තවදුරටත් දුර්වල කරනු ඇත. 
 
අප්‍රේල් මස 22 වැනිදාද ඡන්ද දායකයන් ලියාපදිංචි කරන ස්ථානයක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය එල්ල වූයේ කාබුල් නුවරටය. එයින් 60ක් ජීවිතක්ෂයට පත්ව 100කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. 
 
ඒ.එෆ්.පී 

(055)