ප්‍රංශයේ පැරිස් නුවර කාටූන් පත්‍රයකට ඇතුළුවූ ත්‍රස්තවාදීහු කාටුන් ශිල්පීන් ඇතුළු 12 දෙනෙක් ඝාතනය කර අට දෙනකුට තුවාල කළහ.

මින් පෙර ඇතිවූ තර්ජන හේතුවෙන් පොලිස් ආරක්ෂාව මැද සාමාන්‍ය වැඩ කටයුතු සිදු කරන මෙම පුවත්පතේ ප‍්‍රධාන කාර්යාලයට ඇතුළුවූ දෙදෙනෙක් දොළොස් දෙනකු මරා දැමූහ. කොමොන්ඩෝ ක‍්‍රමයට සැරසී මුහුණු වසාගෙන ආ තරුණයෝ දෙදෙනෙක් කාර්යාලයේ රැස්වීම් ශාලාවට ඇතුළුවී එහි සිටි පිරිස අතරින් අවශ්‍යම පුද්ගලයන් තෝරා වෙඩි වරුසාවක් එල්ල කොට ගොඩනැගිලේලේ පිළිගැනීමේ නිලධාරීන්, ආරක්ෂක පොලිස් භටයා හා ගොඩනැගිල්ලේ ඉදිරිපස පොලිස් රථයක සිටි පොලිස් භටයෙකුටද වෙඩි තබා ”අපි චාර්ලි හෙබ්ඩෝ විනාශ කළා” ”අල්ලා හුවක්බර්” යනුවෙන් කෑ ගසමින් පාර මැද නවතා තිබු ඔවුන් පැමිණි වාහනයේ නැඟ පැන ගියහ. මෙය සිදු වුයේ  07 වැනිදා හරියටම උදේ 11.43 ට පමණය. මෙම ප‍්‍රහාරයෙන් 12 දෙනෙක් මරුමුවේය. 08 දෙනෙකු බරපතල තුවාලකරුවන් අතරය. ඉන් සිව් දෙනෙක් ජීවිතයත් මරණයත් අතර සටනකය. ඔවුන් අතර පොලිස් නිලධාරීයෙකි. මියගිය 12 දෙනා අතර මෙම පුවත්පතේ සුප‍්‍රසිද්ධ මාධ්‍යවේදියෝ හා කාටුන් ශිල්පියෝය. චාබ්, චබූ , ටිනෝ, වොලින්ස්කි ඒ අතරින් සුවිශේෂියෝය. ආර්ථික විශේෂඥයකු හා මාධ්‍යවේදියකු වන බර්නාඩ් මාරිස්ද ප‍්‍රහාරයෙන් මිය ගියේය. මෙදින උදේ මෙම පුවත්පතේ ප‍්‍රධාන මාධ්‍යවේදීන්ගේ නව වසරේ සුපුරුදු රැස්වීම කුඩා රැස්වීම් ශාලාවේ පැවැත්වුයේය. ප‍්‍රහාරයේ ඉලක්කය මෙම රැස්වීම වු බව සිද්ධි දාමයේ නිගමනයවේ. පැන ගිය වෙඩික්කරුවන් ඇල්ලීමට මුළු ප‍්‍රංශයම සීරුවෙන් තබා ඇත්තේය. දේශසීමා, ගුවන් තොටුපොළවල්, මහාමාර්ග, මංමාවත්, දුම්රිය පොළවල්, වරායවල් ඇතුළුව මුළු ප‍්‍රංශයම වට කොට උඩින් යටින් සෑම දිශාවක්ම රැකවල්ලුය. උකුසු ඇස්ය. සිද්ධිය ඇසු සැණින් ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් සමග පැරීසියේ නගරාධිපති ඈන් හිඩල්ගෝ මහත්මිය, පැරිස් කලාපයේ සභාපති ජෝන් පෝල්, අභ්‍යයන්තර ආරක්ෂක ඇමති බර්නාඩ් කැෂනොව් සිද්ධියවූ ස්ථානයටත් පුවත්පත් කාර්යාලයටත් පැමිණියේය. මෙය ප‍්‍රංශයට පමණක් නොව අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට කළ කුරීරු ප‍්‍රහාරයක් බවත් එය තරයේ හෙළාදකින අතරම වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුනුවන බවත් මියගිය අය වෙනුවෙන් තමන්ගේ ශෝකය ප‍්‍රකාශ කරන බවත් ජනපතිතුමා පැවසුවේය.

ප‍්‍රංශයේ චාර්ලි හෙබ්ඩෝ යනු බදාදා ප‍්‍රංශ මාධ්‍ය වෙළඳපොළට නිකුත් වන ටැබ්ලොයිඩ් වර්ගයේ කාටුන් වලින්ම පිරුණු වර්ණවත් කුඩා පුවත් පතකි. මෙම පුවත් පතේ විශේෂය වන්නේ එය සම්පූර්නයෙන්ම වාගේ කාටුන් චිත‍්‍ර වලින් පිරී තිබීමයි. ලිපි ලේඛන එතරම් නොවුවත් සිත පිනවන කාටුන් දෙබස්, කාටුන් චිත‍්‍ර කතා, නිහඬ කාටුන් ආදියෙන්  මෙම පුවත්පත සැරසේ. කාටුන් මගින් සමාජයේ සෑම ක්‍ෂේත‍්‍රයක්ම දැඩි විවේචනයට ලක් කිරීමට දක්‍ෂ මෙම පුවත් පත දේශපාලනය, රාජ්‍ය දුෂණ, හා ආගම් හරහා සිදුවන අන්තවාදි සමාජ හානිය බොහෝ විට දැඩි විවේචනයට ලක් කරන්නේය. 1970දි ආරම්භ කළ මෙම පුවත්පත වාමාංශික මතධාරීන්ගේ පහස ලබයි. ඔවුන්ගේ පුවත් පත කුඩා වුවද එයින් කෙරෙන වැඩ ලොකුය. අද ලෝකයේ කාටුන් පුවත් පත් අතර ඉදිරියෙන්ම සිටින මෙම පුවත්පත නිතර කථා බහට ලක්වෙන ලෝකයම මවිත කරවන කාටුන් හා ඊට බැදි ශීර්ෂ පාඨ ගෙන හැර දක්වන සුවිශේෂි පුවත් පතකි. මෙම පුවත් පත අද ප‍්‍රංශයට හිසරදයක් වී ඇතුවාට සැක නැත. නමුත් ඔවුනට කිසිම හානියක් රාජ්‍යයෙන් සිදු නොවේ. කාටුන් වලින්ම පිරුණු මෙම පුවත් පතේ ලියන දේ අඩුය. පෙන්වන දේ වැඩිය. ඒ වගේම සැරය. ඒ මෙම පුවත්පතේ ශක්තියේ රහසයි. සිනහව උපදවන කාටුන් වලින් පිරි මෙම පුවත්පත ප‍්‍රංශයේ 70 හා 80 දශකයේ පරම්පරාව අතර ඉතාමත් ජනප‍්‍රිය පුවත්පතකි. අද මෙම පුවත්පත නිසා ප‍්‍රංශය ගිනිගෙන ඇත. එබැවින් මැදපෙරදිග, ඊජිප්තුව, මොරොක්කෝව ,ටියුනීසියාව, ඇල්ජීරියාව ඇතුළු බොහෝ රටවල ප‍්‍රංශ තනාපති කාර්යාල වලට දැඩි ආරක්ෂාව සපයා තිබේ. ඉහත රටවල ප‍්‍රංශ ජාතික පාසැල් සිකුරාදා දිනයන් හී වසා දැමීමට තීරණ ගෙන ඇත. ඒවාටද දැඩි පොලිස් හා හමුදා රැකවරණය ලබා දී ඇත. ප‍්‍රංශයේ පැරිස් අගනුවරට යාබදව එක් එක් ස්ථාන වල ආගමික අන්තවාදියෝ කලබල සිදු කරති. පැරීසියට යාබද සුළු නගර වල යුදෙව් ජාතික කඩ සාප්පු වලට අලාභ හානි සිදු කරති. පැරීසියේ මුළු නගරයේම දැඩි ආරක්ෂාවක් මේ දිනවල ඇත. ප‍්‍රංශ රහස් ඔත්තු සේවාවන් කඩි ගුලක් මෙන් පැරීසිය පුරා සැරිසරති. නමුත් ජනයා සාමන්‍ය ලෙස ජන ජීවිතය ගත කරති.

ඒ අතරම 08 වෙනිදා දහවල් 12ට මුළු ප‍්‍රංශයම විනාඩි දෙකක් නිහඬව ශෝකය ප‍්‍රකාශ කරන ලෙසද ඉල්ලා සිටියේය. එබැවින් දින තුනක් ජාතික ධජයන් අඩකුඹු කොට ශෝක දිනයන් ලෙස ප‍්‍රකාශ කොට ඇත්තේය. 07 වැනිදා සවස ප‍්‍රංශයේ සෑම ප‍්‍රධාන නගරයකම අති විශාල ජනතාවක් මියගිය මාධ්‍යවේදීන් වෙනුවෙන් පහන් දැල්වුහ. මේ වන විට වයස අවුරුදු 18ක් වයැසැති තරුණයෙක් පොලිස් අත් අඩංගුවේය. ඔහු මෙම ප‍්‍රහාරයේ තුන්වැන්නා ලෙස පොලීසිය සැක කරයි. ප‍්‍රහාරයට පැමිණි දෙදෙනා හඳුනා ගෙන ඇති අතර ඔවුන් උපතින් ඇල්ජීරියානුවන් වන අතරම වයස අවුරුදු 32 හා 34 ක්වූ එකම පවුලේ සහෝදරයන් බව හඳුනා ගෙන ඔවුන්ගේ ඡායාරූප මහ ජනතාවට දැන ගැනීමට ප‍්‍රසිද්ධ කොට ඇත්තේය. මෙතෙක් ඔවුන් අත් අඩංගුවට ගෙන නොමැත. ඔවුන්ගේ ඥාතීන් හා ළඟින්ම ඇසුරු කරන පිරිස් අට දෙනෙකු ප‍්‍රංශ රහස් පොලිසියේය.

01 03 charlie-hebdo-attack-wednesday GTY-gunmen-car-still-kab journalist-Charlie-Hebdo security