ටියුනීසියාවේ සංචාරක සිත්ගත් සුයුසි වෙරළේ කොන්ටාවි සංචාරක කලාපයේ පිහිටි හෝටල් දෙකකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් 19 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

ඉස්ලාමීය දේශයක් උදෙසා සටන්වැද සිටින අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදි කණ්ඩායමක් විසින් මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි විශ්වාස කරයි.

ප්‍රහාරයේ දී බ්‍රිතාන්‍ය ජාතිකයන් බහුතරයක් සිටින ස්ථානයක් ඉලක්ක වී ඇත.  

මේ සංචාරක කලපායේ පිහිටි රෝයල් කෙන්ස් හෝටලයේ නිවාඩුව ගතකරණ බ්‍රිතාන්‍ය සංචාරකයෙක් වන රෙබෙකා මයිල්ස් සහ ඇගේ මිතුරකු වන ඩීන් ඇන්ඩර්සන් විදෙස් මාද්‍ය වෙත පවසා ඇත්තේ බෝම්බ තර්ජනයක් ඇති බවත් තමන්ට කාමරයට යන්නැයි පණිවිඩයක් ලැබුණු බවත් ය. ඉන් පැය භාගයකට පමණ පසු විශාල පිපිරීම් ශබ්ද ඇසුණු බවත් මේ ශබ්ද අකුණක් ගැසීමක් විය හැකියැයි සිතුව ද අහස පැහැදිලිව තිබුණු බැවින් අකුණක් විය නොහැකි බව තේරුම් ගත්තා යැයි ද ඔවුන් දෙදෙනා පවසා තිබිණි.

ඒ සමගම වෙරළේ සිටි සියළු දෙනා හෝටලය තුළට දිව ආ බවත් සෑම දෙනාගේම සිතේ මේ කුමක් සිදුවන්නේ ද යන්න පිළිබඳ ගැටළුවක් තිබූ බවත් රෙබෙකා කීවාය.  

පසුගිය මාර්තු මාසයේ ටියුනීසියාවේ බාර්ඩෝ ජාතික කෞතුකාගාරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් සංචාරකයින් විසි දෙදෙනකු මිය ගියහ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මේ ප්‍රහාරය එල්ල වූයේ ප්‍රංශයේ ලියොන් නගරයේ දී පුද්ගලයකු හිස ගසා මරණයට පත්කිරීමෙන් පසුව බවයි.