නව යොවුන් තරුණියක ඉතාම බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර මරණයට පත් කිරීමේ සිදුවීමකට විරෝධය දැක්වීමක් වශයෙන් ආර්ජන්ටිනාවේ වැඩ කරන කාන්තාවෝ දහස් ගණනක් වැඩ වර්ජනයක් දියත් කිරීමට සංවිධානය වෙමින් සිටිති.

ඝාතනයට ලක්ව ඇති තරුණිය ලූසියා පෙරේස් නම් වන අතර, වාර්තා වන පරිදි මෙම මස මුල දිනයක උදැෑසන ආර්ජන්ටිනාවේ මාර් ඩෙල් ප්ලාටා නගරයේ රෝහලක් වෙත ඇයව රැගෙන විත් තිබෙන මිනිසුන් දෙදෙනකු, ඇයව වෛද්‍යවරුන්ට භාරදී ඇත්තේ පමණ ඉක්මවා මත්කුඩු භාවිතා කිරීම නිසාදෝ සිහිවිසඥව සිටින බව පවසමිනි.

වෛද්‍යවරුන් ඇයට වහවහා ප‍්‍රතිකාර ලබාදී ඇතත් ඇය සුළු වේලාවකින් මරණයට පත්ව ඇත.ඇයට ඉහළ මාත‍්‍රා වලින් මත්කුඩු ලබාදී තිබෙන බවත්, ඉතාම දරුණු ලිංගික හිංසනයන්ට ඇය ලක්කර තිබෙන බවත්, අනාවරණයව තිබෙන්නේ පසුවය.

මෙයට විරෝධය දැක්වීමක් ලෙස ආර්ජන්ටිනාවේ වැඩකරන කාන්තාවන්ට මධ්‍යහන වන විටදී තම වැඩ නවතා සේවා ස්ථාන වලින් පිටතට පැමිණ, සාමකාමිී උද්ඝෝෂණයක නිරත වන ලෙස එරට සමාජ කි‍්‍රයාධරයින් ඉල්ලා තිබෙන අතර, එම ඉල්ලීම් වලට ඉතාම ඉහළ ප‍්‍රතිචාර ලැබී ඇත.

ලූසියාගේ සොහොයුරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තම සොහොයුරියගේ මරණය සම්බන්ධයෙන් ආර්ජන්ටිනාවේ මෙන්ම ලෝකයේ අවධානය යොමු කිරීමට මේ හැර අන් කළ හැකි කිසි දෙයක් නොමැති බවයි.සියල්ලෝ සැළකිලිමත් නොවුවහොත් හෙට දිනයේ තවත් ලූසියා කෙනෙකු මියයනු ඇති බවද ඔහු කීය.

සංඛ්‍යාලේඛන වලට අනුව ආර්ජන්ටිනාවේ සෑම පැය 36 කටම වරක් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය නිසා කාන්තාවක මරණයට පත්වේ.

ලූසියාගේ මරණ පරීක්ෂණයට අනුව ඇයව ලිංගික අපයෝජනයට ලක්කර ඇත්තේ මරිජුවානා සහ කොකේන් යන මත්ද්‍රව්‍ය ඇයට ලබාදීමෙන් පසුය.ඇයව ලිංගික අපයෝජනයට ලක්කර ඝාතනය කළේ යැයි සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමටද එරට පොලිසිය සමත්ව ඇත.