තුර්කියේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි වෘත්තීය පුහුණු පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 16 දෙනකු තුවාල ලබා ඇති බව තුර්කි මාධ්‍ය පවසයි. වෙඩි තැබීම කර ඇත්තේ පාසලේ ආදි සිසුවකු බව තුර්කි පොලිසිය පසුව අනාවරණය කළේය. එම තැනැත්තා ද වෙඩි තබා ගනිමින් දිවි නසාගෙන ඇත.

වෙඩි තැබීම සිදුවූයේ සැන්ලියුර්ෆා පළාතේ සිවෙරෙක් නගරයේ පිහිටි වෘත්තීය පුහුණු පාසලේය. වෙඩි තැබීම කළ සිසුවා 18 හැවිරිදි බව පැවැසෙයි. ඔහු පාසල් භූමියට ඇතුළු වී, දකින දකින සැමට වෙඩි තැබීමට පටන්ගත් බව පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. වෙඩි තැබීම සැලවීමත් සමගල පොලිසිය පාසලට පැමිණ එය වට කළ අවස්ථාවේදී සිසුවා දිවි නසාගෙන ඇත.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් අතර ගුරුවරයකු ද සිටින බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ බවත් තුර්කි මාධ්‍ය වාර්තා කරයි. වෙඩි තැබීමත් සමඟ පාසලේ ගුරුවරුන් සහ සිසුන් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ අතර, වෙඩි තැබීම කළ සිසුවා යටත් වීම ප්‍රතික්ෂේප කළ බවත් පොලිසිය වැඩි දුරටත් කියා සිටී.

තුර්කියේ පාසල් තුළ මේ අයුරින් වෙඩි තැබීම් සිදුවීම දුර්ලභය. ආදි සිසුවා පාසලට කඩා වැදී වෙඩි තැබීම කළේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී ඇත. වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ බියට පත් සිසුන්, පාසල් ගේට්ටුවෙන් පිටතට දිවයන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.