තායිවාන ජනාධිපතිවරණයෙන් දෙවන වරටත් ජයග්‍රහණය කිරීමට වර්තමාන ජනාධිපතිනි සායි ඉන්-වෙන් සමත්වී තිබේ.

සිය ප්‍රතිවාදී ක්වොමින්ටැං පක්ෂයේ අපේක්ෂක හැන් මහතා පරාජය කරමින් මිලියන 8.2කට අධික වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ඇය ලබාගෙන ඇති අතර එය මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 57% ක ප්‍රතිශතයකි.

චීනය සමඟ සමීප සබඳතා වලට විරුද්ධව කටයුතු කරන සායි මහත්මිය ජයග්‍රහනයෙන් පසු කියා සිටියේ තම රට බලහත්කාරයෙන් ලබාගැනීම සඳහා චීනය කරන උත්සාහයන් අත්හරින ලෙසයි.

"තායිවානය නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාව කෙතරම් අගය කරනවාද යන්න සහ අපගේ ජාතිය කොතරම් අගය කරනවාද යන්නා ලොවට පෙන්වා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී තායිවානය සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ රජය තර්ජන හා බියගැන්වීම් වලට එකඟ නොවන බව බීජිං බලධාරීන් තේරුම් ගනු ඇතැයි බලාපොරොත්තු වෙමු" යැයි ඇය පැවසුවාය.

වාර්තාගත ජයග්‍රහණය මගින් සායි මහත්මියට අති විශාල ජනවරමක් ලැබී ඇති අතර එය චීනය වෙත එල්ලවන දැවැන්ත ඇනුම්පදයක් වනු ඇතැයි විචාරකයෝ පවසති.

(බීබීසී ඇසුරිණි - 085)