මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන 47 වැනි ආසියාන් සමුළුවට සමගාමීව, ඊට සහභාගී වන ඇමෙරිකන් ජනාධිපති  ඩොනල්ඩ් ට්‍ර්ම්ප් සහ මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වාර් ඊබ්‍රහීම්ගේ මැදිහත් වීමෙන්  තායිලන්ත කාම්බෝජ සාම වැඩපිළිවෙළට අත්සන් තැබුණි.

තායිලන්ත අග්‍රාමාත්‍ය අනුටින් චර්නිවිනාකුල් සහ කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් මැනෙට් ද එම අවස්ථාවට එක් වූහ. 

මීට මාස කීපයකට පෙර, තායිලන්තය සහ කාම්බෝජය අතරේ යුද්ධයක් හටගත් අතර, එය නැවැත්වීම සිදුවූයේ ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙනි. මැලේසියාවේ දී මැලේසියා අග්‍රාමාත්‍ය අන්වාර් ඊබ්‍රහීම්ගේ ද සහාය ඇතිව තායිලන්ත සහ කාම්බෝජ නායකයන් අතරේ සාකච්ඡා පැවැත්විණි. ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් අස්සන් තැබුණේ එහිදී ඇතිකරගත් එකඟතාවට අනුව කටයුතු කිරීමට අදාළ සාම ගිවිසුමටය.

ට්‍රම්ප් සාමයට කැපවුණු ලෝක නායකයකු බවත්, ඔහු මැදිහත් වී තායිලන්තය සහ කාම්බෝජය අතර යුද ගැටුම සමථයකට පත් කිරීම සැබැවින්ම ප්‍රසංශනීය යැයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙන්ම කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා ද පසුව පැවසුවේ, ට්‍රම්ප් ඇගයීමට ලක් කරමිණි.

තෙදිනක් තිස්සේ පැවැත්වෙන ආසියන් සමුළුව යනු අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයයි. ආසියාන් සමුළුවට සහභාගී වන සාමාජික රටවල් 10 කි. බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, සහ වියට්නාමය යනු එම රටවල්ය. එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයට අනුව, මෙම රටවල් සියල්ලෙහිම ජනගහනය මිලියන 678 ක් වන අතර, ඒවායේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 3.9 කි.

ඇමෙරිකා එක්සත් ජනපදය අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සම්පූර්ණ සාමාජික රටක් නොවන නමුත්, ඇමෙරිකාව මෙම සංගමය සමග ඉතා සමීප සබඳතා පවත්වන හවුල්කරුවෙකි

මේ අතර, තායිලන්තයේ වජිරාලොන්ග්කෝන් රජුගේ මෑණියන් වන සිරිකිත් රැජිනගේ අභාවය සම්බන්ධයෙන්, ට්‍රම්ප් සොව පළ කිරීමට ද අමතක නොකළේය. ඒ, තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා පවත්වද්දීය. 93 හැවිරිදි සිරිකිත් රැජින අභාවප්‍රාප්ත වූයේ පසුගිය සති අන්තයේ බැංකොක් අගනුවර රෝහලකදීය.