තායිලන්ත රජ පවුලට අපහාස වන අයුරින් පළ කර ඇති අන්තර්ජාල ලිපි සහ යුටියුබ් වීඩියෝපට ඉවත් කිරීමට ගුගල් ආයතනය එකඟ වූ බව තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ප්‍රාජින් ජින්තොන් පවසයි. තායිලන්ත රජු භූමිබෝල් අදුල්යාදේජ් මිය ගිය දින(13) සිට ගුගල් සේවාව යටතේ ඇති වෙබ් අඩවි වල එවන් ලිපි 100 පමණ පළ වී ඇතැයි ඔහු පැවසිය.

තායිලන්තය තුළ පවතින දැඩි නිතිය යටතේ රජ පවුලට අපහාස වන අයුරින් කටයුතු කිරීම නීති විරෝධී වේ.රජ පවුලට අපහාස වන අයුරින් කටයුතු නොකරන ලෙස එරට රටවැසියන්ට උපදෙස් ලබා දී තිබේ. රජුට,රැජිනියට,ඔටුන්න හිමි කුමාරයාට හෝ වැඩබලන රජුට අපහාස කිරීම අපරාධ නිතිය යටතේ වසර 15ක සිර දඬුවම් විඳීමට සිදුවන වරදකි.

පවතින නීති රීති අනුව ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවත් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව තායිලන්තය තුළ ඒවා අවහිර කරන බවත් ගුගල් ආයතනය පවසයි. මිට පෙරද එරට රජය ගුගල් ආයතනයට මෙවන් පැමිණිලි සිදුකොට ඇත.