එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි වෙසෙන බෞද්ධ ජනතාවගේ ආගමික සහ සංස්කෘතික අවශ්‍යතාවයන් සපුරාලීමේ අරමුණ පෙරදැරි කොට  ජනවාරි 29 වැනි දා මිරහවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකාරාමය නමින් නව විහාරස්ථානයක් ආරම්භ කරනු ලැබිය.

එම සමාරම්භක පින්කමට ආරාධනා ලැබුවන් අතර කොන්සල් ජනරාල් චරිත යට්ටෝගොඩ මහතා සහ ඔහුගේ බිරිඳය. ඩුබායි දේශයේ දැනට ක්‍රියාත්මක වන විවිධ ශ්‍රී ලාංකික සංවිධාන වල නියෝජිතයන් සියලුදෙනාම මෙම ඓතිහාසික අවස්ථාවට සම්බන්ධ වි සිටීම විශේෂිත වූ කරුණකි.

ඉතා උත්කර්ෂවත් අන්දමට පැවැත්වුණ එම පින්කමෙහි වැඩ කටයුතු සංවිධානය කෙරුණේ සුනිල් චන්ද්‍රකුමාර මහතා ප්‍රමුඛ දායක සභාව විසින්  සංවිධානය කැරිණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට ශ්‍රී ලාංකිකයින් දෙලක්ෂ පනස් දහසක් පමණ ජීවත්වෙති. මේ අතර බොහෝ දෙනා  බෞද්ධයෝය.  ඩුබායි නගරයේ සහ උතුරු එමිරයේ පදිංචිව සිටින සැදැහැවතුන් සියලුම දෙනා හට අභිනවයෙන් ආරම්භ කෙරුණ මෙම විහාරස්ථානය මගින් මහඟු සේවාවක් සපයනු ඇත.

මීට පෙර ඩුබායි නගරයේ මහමෙව්නාව භාවනා අසපු ශාඛාවක්ද තායි විහාරස්ථානයක්ද ආරම්භ කර තිබුණි. මව්බිමෙන් ඉතා දුර බැහැරව නුහුරු නුපුරුදු පරිසරයක වෙහෙස මහන්සිවී රැකියාවල නියුතුව ඉන්නා බෞද්ධ සදහවතුන් හට මෙම විහාරස්ථානයන්ට අමතරව අලුතෙන් ආරම්භ කෙරුණ ශ්‍රී ලංකාරාමය මගින්ද ඔවුන්ගේ ආගමික වැඩකටයුතු සඳහා සහභාගි වීමටත් අධ්‍යාත්මික ගුණ වගාව පවත්වාගෙන යාමටත් ඉමහත් උපකාරයක් සලසාදෙනු ඇත.

භාවනාව ප්‍රගුණ කිරීම සඳහා මුල් තැනක් දෙමින් සම්මුති දේශනාවන්ට අමතරව පරමාර්ථ ධර්ම කොටස්ද බුදුදහමේ ගැඹුරු තැන් පිළිබඳව සරලව පහදා දෙමින් අවශ්‍ය අවබෝධයක් ලබාදීම උදෙසා ද මෙම විහාරස්ථානය මඟින් කටයුතු කෙරෙනු ඇත.

මැද පෙරදිග රටවලට වැඩම කරවන ආගන්තුක භික්ෂුන් වහන්සේලාට තාවකාලික නවාතැන් පහසුකම් සපයාදීමට ද, උන්වහන්සේලා විහාරස්ථානයේ ආගමික සහ සංස්කෘතික  කටයුතු වලට සහභාගී කරගැනීමටද විහාරස්ථ දායක සභාව බලාපොරොත්තු වෙයි.

ඩුබායි නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හට ආගමික මෙන්ම ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවන්හිදී පින්කම් සහ සංස්කෘතික වැඩසටහන් සංවිධානය කිරීමටත් ඉදිරියේදී බලාපොරොත්තු වෙයි.

විහාරස්ථානය මගින් සංවිධානය කෙරෙන භාවනා පන්ති සඳහා මෙන්ම ආගමික සහ සංස්කෘතික වැඩ කටයුතු සඳහා බෞද්ධ නොවන අයටද සහභාගි විය හැකිවෙයි. මේ තුළින් මැදපෙරදිග ජීවත්වන සියලුම ශ්‍රී ලාංකිකයින් අතර සමගිය සහ සහජීවනය වර්ධනය කිරීම  සඳහා ද උත්සාහයක් ගනු ඇත.

DSC_8713[1] DSC_8806[1] DSC_8610[1] DSC_8613B[1] DSC_8623[1]