තිළිණි ද සිල්වා 
 
වසර නමයක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සේවයේ නියුතුව සිටින ශ්‍රී ලාංකික සේවිකාවක් එහි ජීවිත්වන වීදි බළලූන්ට නොමිලේ කෑම ලබා දීමේ අපූරු පුවතක් මැදපෙරදිග පළවන කලීජ් ටයිම්ස් පුවත්පත් නිල වෙබ් අඩවියේ වාර්තා කර තිබේ.

 
මෙලෙස අපූරු ක‍්‍රියාවක නිරතව සිටින්නේ ඩුබායි ජුමෙයිරා හි ගෘහසේවයේ නියුතු අශෝකා නැමැත්තියකි. කලීජ් ටයිම්ස් පුවත්පත සිය ෆේස්බුක් නිල ගිණුමේ සහ යූ ටියුබ් සමාජ ජාල වෙබ් අඩවියට වීඩියෝ පටයක් මුදා හරිමින් ඇයගේ මෙම ක‍්‍රියාව ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.
 
මෙම සේවය සිදුකර තිබෙන්නේ ඇයට ලැබෙන සුළු පඩියෙන් වීම තවත් විශේෂත්වයකි.දිනකට බළලූන් 200කට පමණ ආහාර ලබා දෙන ඇයට මේ සඳහා මාසයකට ඩිරාම් 1650කට ආසන්න මුදල් ප‍්‍රමාණයක් වියදම්වන බව එම වීඩියෝ වාර්තාවේ සඳහන් වේ.
 
මෙම ලාංකික සේවිකාව 2008 වසරේ ජනවාරි මාසයේදී ඩුබායිවල ගෘහ සේවිකාවක් වශයෙන් කටයුතු ආරම්භ කර  ඇති අතර එදා පටන් මේ දක්වාම ඇය එහි වීදී වල වෙසෙන අසරණ බළලූන්ට පුරුද්දක් වශයෙන් කෑම ලබාදෙමින් සිටින බව එම වීඩියෝ වාර්තාවේ සඳහන් වේ.