වොෂින්ටන්හිදීය (රොයිටර්)

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ සහ එෆ්.බී.අයි ආයතනයේ කටයුතුවලට මැදිහත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව එරට බලධාරිහු සඳහන් කරති.

ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ සහ එෆ්.බී.අයි ආයතනයට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කරන ලද මැදිහත්වීම සම්බන්ධයෙන් එලෙස පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ.

නොවැම්බර් 6 වැනිදා පැවැති ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍ය වාර මැතිවරණයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය දිනාගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්වූ අතර ඒ අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුවේ සභාපතීත්වය ඩිමොක්‍රටික් පක්ෂයට හිමිව තිබේ. එම කමිටුවේ ප්‍රධානත්වයෙන් එලෙස ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය සම්න්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ ෆෙඩරල් නීති නිලධාරීන් ලිපියක් ද යොමු කර ඇතැයි වාර්තා වේ. 

ඩිමොක්‍රටික් පක්ෂයේ ජෙරල්ඞ් නාඞ්ලර් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුවේ ප්‍රධානීත්වය හොබවන අතර ඔහු වැඩබලන නීතිපති මැතිව් විටේකර්ට සහ එෆ්.බී.අයි ආයතනයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් ව්රේට ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂය යොමු කරන ලිපි 100කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ද නියෝග කර ඇත. ඒ අනුව වැඩබලන නීතිපතිවරයාට සහ එෆ්.බී.අයි ආයතනයේ අධ්‍යක්ෂවරයාට දෙසැම්බර් 31 වැනිදා දක්වා කල් දී තිබේ. 

055