
ග්‍රීන්ලන්තය අයිති ග්‍රීන්ලන්ත වැසියන්ට බවත්, ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණය කළ යුත්තේ ද ග්‍රීන්ලන්ත වැසියන්ට බවත් නේටෝවට අයත් බටහිර රටවල් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසා ඇත.
ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය සහ මහා බ්‍රිතාන්‍යය යන රටවල් මෙසේ පවසා ඇත්තේ ඩෙන්මාර්කයට සහාය දක්වමිනි. ග්‍රීන්ලන්තය අතීතයේ ඩෙන්මාර්කයට අයත් වූ නමුත් දැන් එය ස්වාධීන රාජ්‍යයකි. එසේ වුවත්, ග්‍රීන්ලන්තය පවතින්නේ ඩෙන්මාර්කය යටතේය.
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යළිත් වරක් අවධාරණය කළේ ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈදා ගනිමින්, ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කරන බවය.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ඩෙන්මාර්කය දැඩි ලෙස විරෝධය පළ කළේය.
ඩෙන්මාර්කය සමඟ එක් වෙමින්, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය සහ මහා බ්‍රිතාන්‍යය පැහැදිලි කර ඇත්තේ ග්‍රීන්ලන්තය පිහිටි ආක්ටික් කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට තමන් බැඳී සිටින බවත්, ට්‍රම්ප්ට හිතුමතේ ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය, භූමියේ අඛණ්ඩතාව සහ දේශසීමා උල්ලංඝනය කළ නොහැකි බවත්ය.
ඇමෙරිකාව ද නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකි. දැනටමත් ග්‍රීන්ලන්තයේ ඇමෙරිකන් හමුදා කඳවුරු පිහිටුවා ඇත. ට්‍රම්ප් පවසන්නේ ග්‍රීන්ලන්තය මිලදී ගැනීමටය. ඒ, ඇමෙරිකාවට ග්‍රීන්ලන්තය හරහා ඉක්මනින් යුරෝපය යා හැකි වීම සහ ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් තැනක් වීම යන කරුණු කාරණා නිසාය.
COMMENTS