කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50 ක බද්දක් පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය. ට්‍රම්ප්ගේ උපදෙස් අනුව, දින 30 ක් ඇතුළත මෙම බදු බලාත්මක වනු ඇතැයි ධවල මන්දිරය නිවේදනය කළේය.

කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි, ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, ඉදිරි සති කිහිපය තුළ ඇමෙරිකාව සමග පවත්වන වෙළෙඳ සාකච්ඡා තවත් ත්‍රීව කිරීමට කැනඩව කටයුතු කරන බවය.

ට්‍රම්ප්, අසල්වැසි කැනඩාවට මෙසේ තීරු බදු පැනැවීමක් සිදු කර ඇත්තේ, ඇමෙරිකානු මත්පැන්, මෝටර් රථ සහ කිරි නිෂ්පාදන සඳහා කැනඩා රජය අසාධාරණ ලෙස බදු පැනවීම, සීමා පැනවීම සහ අනවශ්‍ය නීතිරීති පැනවීම සම්බන්ධයෙන් චෝදනා නගමිනි.

ඉදිරි දින ඇතුළත පැහැදිලි එකඟතාවක් ඇති කර නොගතහොත්, කැනේඩියානු භාණ්ඩ රැසක් සඳහා සියයට 50ක අලුත් තීරුබදු පැනවෙනු ඇති බව පැවැසෙයි. ට්‍රම්ප් මීට අදාළ විධායක නියෝගයට අත්සන් කළේ පෙරේදා දිනයේය.

ජනාධිපති ට්‍රම්ප්, මෙම නව බදු පැනවීම සඳහා භාවිත කර ඇත්තේ 1930 තීරුබදු පනතේ 338 වගන්තිය වන අතර, එය මීට පෙර අත්හදා නොබැලූ නීතිමය ප්‍රතිපාදනයක් ලෙස සැලෙකන බවත් ධවල මන්දිරය පැහැදිලි කරයි. ධවල මන්දිරය මසේ පැහැදිලි කළේ මීට පෙර ට්‍රම්ප් විසින් පනවන ලද ඇතැම් තීරුබදු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කරනු ලැබූ බැවිනි.

බලශක්ති, පොටෑෂ් සහ දැනටමත් විශේෂිත ක්ෂේත්‍ර බදුවලට යටත්ව ඇති භාණ්ඩ සඳහා මෙම නව තීරුබදු බලපැවැත්වෙන්නේ නැතැයි ද ට්‍රම්ප් අවධාරණය කර ඇත. ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඇති භාණ්ඩ සඳහා මෙම නව තීරු බදු සෘජුවම බලපානු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පැහැදිලි කරති.