යුදමය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇති බලතල සීමා කරමින් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී නව යෝජනාවක් සම්මත කරගෙන ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයාට ඉරානයට එරෙහිව තවදුරටත් යුදමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වන අයුරින් එම යෝජනාව සම්මත කරගෙන තිබෙන අතර ඊට පක්ෂව ඡන්ද 224ක් ලැබිණි.  

ඇමෙරිකානු කොංග්‍රසයේ පාලනය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂය සතුව වන අතර අදාළ යෝජනාවට රිපබ්ලිකන් පක්ෂයේ සියලු දෙනාම විරෝධය පළ කළහ. ඒ අනුව ඊට විරුද්ධව ඡන්ද 194ක් ලැබී තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වීමත් ඉරානය ඊට ප්‍රතිචාර දක්වමින් මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් නිසා ඩිමොක්‍රටික් පක්ෂයේ මූලිකත්වයෙන් එම යෝජනාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි.

සම්මත වූ මෙම නව යෝජනාවට අනුව කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ජනාධිපති ට්‍රම්ප්ට ඉරානයට එරෙහිව ඇමෙරිකා හමුදා යෙදවීමට නොහැක.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත වූ යෝජනාව මීළඟට සෙනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. සෙනට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයටය.

රොයිටර්ස් 

055