බහුතර මුස්ලිම් ජනතාවක් වෙසෙන රටවල් හතක වැසියන් ඇමෙරිකාවට ඇතුළුවුවහොත් ඔවුන් රඳවාගෙන පිටුවහල් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිකුත් කළ විධායක නියෝගය තාවකාලිකව නවත්වන ලෙස ෆෙඩරල් අධිකරණයක් සෙනසුරාදා නියෝගයක් නිකුත් කළේය.

ඇමෙරිකා සිවිල් නිදහස පිළිබඳ සංගමයක් ගොනු කළ පෙත්සමකට අවසර දෙමින් ඇමෙරිකාවේ දිසා අධිකරණ විනිසුරු ඈන් ඩොනලී මහත්මිය එම නියෝගය කළාය.

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හතකට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා දින 90 ක කාලයට අදාළ වන ලෙසින් නියෝගයක් දුන් අතර ඒත් සමඟම මේ වනවිට අර්බුද රැසක් නිර්මාණය වී ඇතැයි පැවසේ.

ඇමෙරිකා ජනාධිපතිවරයා විධායක නියෝගය පැනවීමත් සමඟ ඉරාන, ඉරාකය, ලිබියාව, සෝමාලියාව හා සූඩානය ඇතුළු රටවල පුරවැසියන්ට ගුවන් යානාවලට ගොඩවීමට නොහැකි වීමෙන් ඇමෙරිකාව පුරා ගුවන් තොටුපොළ වල ඉහත කී රටවල පුරවැසියන් සිර වී ඇතැයි වාර්තා වේ.