සිරියාව ඇතුළු රටවල් හතක පුද්ගලයින්ට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කළ නියෝගය නීතිවිරෝධී බවත් ඉන් සරණාගකයින් වධහිංසාවට ලක් විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එම තීරණය ජාත්‍යන්තර නීතියට පටහැනි බවද එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨයෝ පවසති.

යුද්ධයෙන් පීඩාවට පත්ව පැමිණෙන සරණාගතයින් භාරගන්නා ලෙසත් ජාතිය ආගම් අනුව වෙනස්කම් නොකරන ලෙසත් එම සංවිධානය ට්‍රම්ප් පාලනයෙන් ඉල්ලයි.

ආගම හා ජාතිය අනුව වෙනස්කම් කිරීම නිතීවිරෝධී බව එම සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතා පවසයි.

ට්‍රම්ප්ගේ එම තීරණයට ඇමෙරිකානු මිත්‍ර රටවල් අතරද විවේචනයක් පවතී.මීට එරෙහිව ලොව පුරා සංචාරකයන්ගේ විරෝධය එල්ල වන අතර මෙම තීරණය අහෝසි කරගැනීමට ඇමෙරිකාව තුළ නඩු පැවරෙමින් පවතී.මෙම නියෝගයෙන් ඇමෙරිකානු ව්‍යවස්ථාවත් ආගමික නිදහසත් ගැරහීමකට ලක්වන බව නීතිඥ පිරිස් පවසති.

මෙම තීරණය අතිශයින්ම වර්ගවාදී බවත් ඉන් එක් ජාතියක් කොන් කරන බවත් ඔවුහු කියති.විධීමත් පරීක්ෂණයකින් තොරව යුද්ධය පවතින රටවල සිට පැමිණෙන සරණාගතයින් අවදානම සහිත එම රටවලට  ආපසු යැවීම අනතුරුදායක බවත් එය ජාත්‍යන්තර මානවවාදී රීති මෙන්ම මානව හිමිකම් උල්ලංගණය කිරීමක් බවත් එම සංවිධානය කියයි.

“යුද්ධයෙන් පීඩාවට පත්ව එන සරණාගතයින් පැන්නීම නොකරන ලෙස ඇමෙරිකාවෙන් ඉල්ලනවා.ඇමෙරිකාවට යන පුද්ගලයන් නියමිත කාලසීමාවක් නොමැතිව රඳවා තබා ගන්නවා.ජාත්‍යන්තරව එකඟ වූ වගකීම් අනුව කටයුතු කරන්න කියලා අපි වොෂින්ටනයෙන් ඉල්ලනවා.ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනපතිවරයා ප්‍රශ්න කිරීමේ ක්‍රම ලෙස භාවිත කළ ක්‍රම භාවිත නොකරන ලෙස ද ඉල්ලා සිටිනවා“යැයි එම සංවිධෘනය සඳහන් කරයි.